මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි
17 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි
17 August 2026
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 10 වෙනිදා නිවේදනයක් නිකුත් කළේ ය. ඒත් සමග ලංකාව තුළ නැවැත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ද නැද්ද යන කතිකාව යළිත් කරළියට පැමිණ තිබෙයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත්ම නොගැළපෙන බව පිරිසක් කියති. 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොවූවද මේ වන විට රට තුළ තුළ වර්ධනය වී ඇති බරපතළ අපරාධමය තත්ත්වයන් වළක්වා ගැනීමට නම් අනිවාර්යෙන්ම මරණ දඬුවම නැවැත ක්‍රියාත්මක කළ යුතු බව කියන පිරිසක් ද සිටිති. ඔවුන් ඒ පවසන ආකාරයට ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේද? යන්න පිළිබඳව මෙන්ම මරණ දඬුවම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්මුති ගැන සහ ආගමික මතවාදවල යථාර්ථය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ සංජීව පතිරණ සමග ‘‘අරුණ’’ කළ සාකච්ඡාවකි මේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ දවස්වල සමාජය තුළ කතාබහක් ඇතිවෙලා තියෙනවා. යළිත් වතාවක් ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියලා පිරිසක් කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
1976 වසරේදී තමයි අපේ රට තුළ මරණ දඬුවම අවසන් වරට ක්‍රියාත්මක වුණේ. හම්බන්තොට ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ ඇබිනි නමැති පුද්ගලයා එල්ලා මැරීමෙන් පසුව අද දක්වාම ලංකාව තුළ මරණ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ නැහැ. මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමත් සමග භයානක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සීඝ්‍රයෙන් ඉහළ යාමක් වූ බව අපට දැක ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස, 2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ පමණක් වෙඩි තැබීම් 40කට අධික සංඛ්‍යාවක් වෙලා තියෙනවා. එමගින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා වගේම තවත් 17 දෙනකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා. දැන් තත්ත්වය මොනතරම් දරුණුද කියනවා නම්, සෑම සතියකටම වරක් මනුෂ්‍ය ඝාතනයක් වන තරමට සමාජය අස්ථාවර වෙලා. අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය ජාවාරම එන්න එන්නම වැඩි වෙනවා. අද වන විට බහුදින ධීවර යාත්‍රා සහ නෞකා යොදාගනිමින් කිලෝ 200, 300 වැනි විශාල මත්ද්‍රව්‍ය තොග රට තුළට ගෙන ඒම සාමාන්‍ය දෙයක් වෙලා. මෙවැනි බරපතළ තත්ත්වයක් හමුවේ, මරණ දඬුවම නැවැත ක්‍රියාත්මක කළ යුතුය යනුවෙන් කතිකාවක් සමාජය තුළ නිර්මාණය වීම ඉතාම සාධාරණයි. මගේ පෞද්ගලික මතයට අනුව, මෙවැනි අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමට නම් ඊට සරිලන දැඩි දඬුවම් ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ධීවර යාත්‍රාවල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් ඒ දේවල් කරන්නේ රුපියල් ලක්ෂ 50ක්, 100ක් වැනි විශාල මුදලක් වෙනුවෙන්. යම් හෙයකින් අත්අඩංගුවට පත් වුවත්, නඩුවලට මුදල් වියදම් කරන්නේත්, තමන් සිරගතව සිටින කාලයේ පවුලේ අයව බලාගන්නේත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෝ දන්නවා. ඒ නිසා ඔවුන්ට නීතිය ගැන බයක් නැහැ. යම් හෙයකින් මේ සඳහා අනිවාර්යයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන බවට නීතිමය තහවුරුවක් තිබෙනවා නම්, රුපියල් ලක්ෂ ගණනක මුදලට වඩා තමන්ගේ ජීවිතය වටින නිසා මත්ද්‍රව්‍ය ප්‍රවාහනකරුවන් කිසිසේත්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට අනුබල දීම වැළැක්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් කියලා මම හිතනවා.
මරණ දඬුවම සම්බන්ධයෙන් අපේ රටේ පවතින නීත්‍යානුකූල තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
ශ්‍රී ලංකා නීතියෙන් මරණ දඬුවම තහනම් කිරීමක් හෝ අහෝසි කිරීමක් කරලා නැහැ. ඒ නිසා ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කිසිදු තහනමක් නෑ. වර්තමාන දණ්ඩ නීති සංග්‍රහය තුළ මරණ දඬුවම ලබාදීමට ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (ICCPR) 6 වැනි වගන්තියට අනුවත් මරණ දඬුවම අහෝසි කර නැති රටක තදබල අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට බාධාවක් නැහැ. ඒ වුණත් වැරදිකරුවන්ට එක්වරම මරණ දඬුවම ලබාදීමක් කරන්නේ නෑ. විමර්ශන, මහෙස්ත්‍රාත් මූලික පරීක්ෂණ සහ නීතිපති අධිචෝදනා මත මහාධිකරණයේදී (විත්තිකරුගේ කැමැත්ත පරිදි ජූරි සභාවක් සහිතව හෝ රහිතව) දීර්ඝ නඩු විභාගයක් පැවැත්වෙනවා. විත්තිකරු පළමු දිනයේදීම තමන් වරද කළ බව පිළිගෙන මරණ දඬුවම ඉල්ලා සිටියත් අධිකරණය එකවරම දඬුවම් නියම නොකර සාක්ෂි විභාග කිරීමෙන් පසුව තීන්දුව ලබාදීමයි කරන්නේ. ඒක අපේ නීතියේ තිබෙන විශේෂත්වයක්.
යම් වැරදිකරුවෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දක්වා වන ක්‍රියාවලිය පිළිබඳවත් කතා කරමු?
මරණ දඬුවම හිමිවන වරදක් සම්බන්ධයෙන් මුලින්ම මහෙස්ත්‍රාත් අධිකරණයේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. එහිදී ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අනාවරණය වුණොත්, නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනවා. ඉන්පසුව විත්තිකරුගේ කැමැත්ත මත ජූරි සභාවක් සහිතව හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ පුද්ගලයා වරදකරු වුණොත් මරණ දඬුවම නියම කරනවා. එම තීන්දුවෙන් පසුව වරදකරු බන්ධනාගාරගත කරන අතර, ජනාධිපතිවරයා නියම කරන දිනයක, ස්ථානයක සහ වේලාවකදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනවා.
ඔබ ඔය කියන ආකාරයට මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරන්නේ කුමන ආකාරයක වැරැදිකරුවන්ටද?
දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීම (296 වගන්තිය), සියදිවි නසාගැනීමට අනුබල දීම (299 වගන්තිය) සහ රාජ්‍යයට එරෙහිව යුද්ධ කිරීම හෝ අනුබල දීමට (114 වගන්තිය) මරණ දඬුවම හිමිවෙනවා. අන්තරායකර ඖෂධ පනත යටතේ හෙරොයින්, කොකේන්, මෝෆීන්, අයිස් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ අබින් කිලෝ 1ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගැනීම, ජාවාරම් කිරීම, ආනයනය හෝ අපනයනය කිරීම මෙන්ම 2026 අංක 7 සංශෝධිත පනතින් නෞකාවක හෝ යාත්‍රාවක මෙවැනි මත්ද්‍රව්‍ය නිපදවීම, ප්‍රවාහනය කිරීම හෝ සන්තකයේ තබාගැනීමත් මරණ දඬුවම හිමිවෙන වැරදි හැටියටයි ගැනෙන්නේ. ඊට අමතරව 2006 අංක 4 දරන ජිනීවා සම්මුති පනත අනුව යුද සමයකදී සිවිල් වැසියන් හෝ යුද සිරකරුවන් හිතාමතා ඝාතනය කිරීමේ වරදටත් මරණ දඬුවම නියම කෙරෙනවා.
ශ්‍රී ලංකාව තුළ නැවැත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බාධා වන ජාත්‍යන්තර සම්මුති හෝ නීති තිබෙනවා ද?
නැහැ. එවැනි කිසිදු නීතිමය තහනමක් නැහැ. ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනිදා අත්සන් තැබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 6(2) වගන්තියට අනුව මරණ දඬුවම අහෝසි කර නැති රටක, ඉතාම තදබල අපරාධ සඳහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැහැ. එම සම්මුතියේ 6(4) වගන්තියෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව අයැදීමේ හෝ දඬුවම් ලිහිල් කරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසුවත්, මරණ දඬුවම අහෝසි කිරීමට බලකරන්නේ නැහැ. මරණ දඬුවම මුළුමනින්ම අහෝසි කිරීමට බලපෑම් කෙරෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) දෙවන විකල්ප යෝජනාවලිය මගින් වුණත්, ශ්‍රී ලංකාව මෙතෙක් ඊට අත්සන් තබා නැහැ.
ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි කියලත් පිරිසක් කියනවා.
ආගමික පසුබිම මුල් කරගනිමින් එවැනි අදහසක් සමාජයේ ඇතිවෙන්න පුළුවන්. නමුත් රටේ පවතින රාජ නීතියට යටත්ව කටයුතු කරන ලෙසට බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කළ බිම්බිසාර, කොසොල් වැනි රජවරුන් වරදකරුවන්ට මරණ දඬුවම පැනෙව්වා. ඒත් බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වූයේ නැහැ. ඒ නිසා රටක සාමය සහ නීතිය සුරැකීම උදෙසා පවතින රාජ නීතියට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
කතෝලික සභාව ඇතුළු ඇතැම් ආගමික කණ්ඩායම් ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ධ බව කියනවා නේද?
ඔව්. ආගමික වශයෙන් ගත්තාම ඕනෑම ආගමක ජීවිතයක් නැසීම හොඳ නැහැ කියන මතය තියෙන්න පුළුවන්. නමුත් කුලියට මිනී මරන්නන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ වෙඩි තබන්නන් ඒ දේවල් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට පමණයි. එයින් ආගමට, සමාජයට හෝ රටට වන සෙතක් නැහැ. අනෙක ආගමික මතවාදය කුමක් වුණත්, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතියයි. ලෝකයේ දියුණු රටවල් පවා තමන්ගේ රටේ සුගතිය උදෙසා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා.
ලෝකයේ දියුණු රටවල් මරණ දඬුවම සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු තීරණ ගැනත් කතා කරමු?
සිංගප්පූරුව වැනි දියුණු රටවල පවා මරණ දඬුවම තදින්ම ක්‍රියාත්මක කරනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල මරණ දඬුවම දැනටත් ක්‍රියාත්මක වෙනවා. මහා බ්‍රිතාන්‍යය යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තියට අත්සන් තබා සිටින නිසා සාමාන්‍ය වැරැදි සඳහා මරණ දඬුවම අත්හිටුවා තිබුණත් රාජ්‍ය විරෝධී ක්‍රියා සහ යුදමය අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය ඒ රටේ රජය සතුව පවතිනවා. මරණ දඬුවම නියම කෙරෙන්නේ දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. එමෙන්ම තීන්දුව සම්බන්ධයෙන් අසහනයට පත් පාර්ශ්වයකට අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියත් හිමිවෙනවා. අධිකරණ මට්ටම් කිහිපයකදීම ස්වාධීනව කරුණු පරීක්ෂා කිරීමෙන් පසුවයි මරණ දඬුවම පිළිබඳ අවසන් තීරණයට එළඹෙන්නේ.
මරණ දඬුවම වැනි දැඩි හා තීරණාත්මක තීන්දුවක් ලබාදීමේදී අධිකරණයේ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය ඉතාමත් වැදගත් නේද?
අනිවාර්යෙන්ම ඔව්. අධිකරණය සෑම විටම කිසිදු බලපෑමකට ලක් නොවී, ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කළ යුතුයි. විනිසුරුවරුන් පක්ෂග්‍රාහී වුවහොත් හෝ බලපෑම්වලට යටත් වුවහොත්, බලවතුන්ගේ වුවමනාවන් මත අහිංසක පුද්ගලයන්ට දඬුවම් ලැබීමෙන් විශාල අගතියක් සිදුවිය හැකියි. අපරාධ නීතියේදී ඕනෑම වරදකට දඬුවම් පැනවීමට පෙර අපරාධමය චේතනාව පැහැදිලිව තහවුරු විය යුතු අතර, චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු විය යුතුමයි. යම් හෙයකින් පුංචි හෝ සැකයක් පැවතුණොත්, එහි වාසිය විත්තිකරුට හිමිවන්නේ නිවැරදි පුද්ගලයකු වරදකරුවකු වීම වැළැක්වීමටයි. ඒ නිසා මරණ දඬුවම වැනි අවසන් තීන්දුවක් ක්‍රියාත්මක කරනවා නම්, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අභියාචනා කිරීමේ අයිතිය ඇතුළු නීතිමය රීති පද්ධතියද උපරිමයෙන් සුරක්ෂිත වී තිබීම අනිවාර්යයි.
මරණ දඬුවම නියම වූ අයකුට ජනාධිපති සමාව ලබාදීමේ හැකියාවක් ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව්. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අනුව මරණ දඬුවමට ලක්වූ පුද්ගලයකුට සම්පූර්ණ සමාව දීමට, කොන්දේසි සහිතව සමාව දීමට, දඬුවම ලිහිල් කිරීමට හෝ අදාළ දඬුවම කල්තැබීමට ජනාධිපතිවරයාට පූර්ණ බලතල හිමිවෙනවා. නමුත් එහිදී ජනාධිපතිවරයාට හිතූ මනාපයට හෝ විධායක බලය මත පමණක් පදනම්ව කටයුතු කිරීමට හැකියාවක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(2) සහ 34(3) වගන්තිවලට අනුව, අදාළ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාව, නඩුවට අදාළ තොරතුරු මෙන්ම බන්ධනාගාර වාර්තාද කැඳවිය යුතුයි. ජනාධිපතිවරයාට ඒ ආකාරයට සමාව දීමට හැකියාව ලැබෙන්නේ නීතියෙන් නියමිත නිසි ක්‍රියාමාර්ග පද්ධතිය අනුගමනය කිරීමෙන් පසුව පමණයි.

