brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි

02 September 2025


චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.


ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.


ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.


23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.


ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.


මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.


ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.


ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.


චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.


 

More News..