brand logo
logo
ග්‍රෙගරි වැවේ අසූචි බැක්ටීරියා

ග්‍රෙගරි වැවේ අසූචි බැක්ටීරියා

29 September 2026 | සාලිය කුමාර ගුණසේකර

මළ අපද්‍රව්‍ය වල අන්තර්ගත බැක්ටීරියා නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලයේ අන්තර්ගත බව පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවසීය.


එමෙන්ම, ජලයේ නයිට්‍රිජන්,පොස්පරස් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවත්,මේ නිසා වැව ඉක්මණින් පාරිසරික වශයෙන් සංරක්ෂණය නොකළහොත් තවත් බේරේ වැවක් බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින බවත් ඔහු කීවේය.


නුවරඑළිය ග්‍රෙගරි වැව කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් සහ අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට අදාළව ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


ග්‍රෙගරි වැව පසුගිය වසර 50 ක පමණ කාලය තුළදී විශාල වශයෙන් ගොඩවී තිබෙන බවත්,අවට තිබෙන වගාබිම්වලින් අවසාදිත ගලාඒම ඊට හේතුව බවත් ඔහු කීවේය.


නුවරඑළිය “ග්‍රෙගරි වැව“ අඩි 5,000 කට වඩා උස් භූමියක පිහිටි වැවක් බවත්, එය ලෝකයේ දුර්ලභ ආකාරයේ පිහිටීමක තිබෙන වැවක් බවත් ඔහු පැවසීය.


මෙම වැවට ප්‍රධාන වශයෙන් ඇළ මාර්ග තුනකින් සහ උල්පත් මගින් ජලය සැපයෙන බවත්, ඇළ මාර්ගවල ජලය වැවට ගමන් කරනු ලබන්නේ ජනාකීර්ණ ප්‍රදේශ හෝ ඇළ මාර්ග හරහා බවත් ඇමැතිවරයා පැවසුවේය.


මෙම ඇළ මාර්ග වැවට විශාල ලෙස රොන් මඩ රැගෙන එන මාර්ග බවට පත්ව ඇතැයිද ඔහු කීවේය.


ග්‍රෙගරි වැවට ගලා එන අවසාදිත තැන්පත් කරගැනීම සඳහා වැව ආශ්‍රිතව අතීතයේදී “කුළු වැව්“ 18 ක් පැවති බවත්, එම වැව් සියල්ලම පාහේ මේ වනවිට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2007 වසරේ මාර්තු මාසයේදී ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශය පාරිසරික සංරක්ෂණ කලාපයක් බවට ගැසට් කර තිබුණද, වැවට තිබෙන පාරිසරික ගැටලුවලට අදාළව විසඳුමක් ලැබී නොමැති බවද ඔහු පැවසීය.

 

More News..