රඟපාලා ඉවර වුණාට චරිතයේ ගුණදොස් කියන්න අයිතිය තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට
07 September 2026 | අරුණි ජයසේකර
රඟපාලා ඉවර වුණාට චරිතයේ ගුණදොස් කියන්න අයිතිය තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට
07 September 2026 | අරුණි ජයසේකර
කොවුලෙක් මොටද මට මිහිරිව ගී ගයනා......
උල ලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා......
රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා.......
හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා.......
සමනලී ෆොන්සේකා නූතන පරපුර නියෝජනය කරන දක්ෂ ගායන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියකි. මෑත කාලයේ එක පිට එක සම්මානයන්ගෙන් පිදුම් ලද ඇය විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින්නීය. මේ ඔබේ හද දිනූ ඇය ගැන පිනිපලස අප කළ කතාබහයි.
මේ දිනවල සමනලී බොහෝ දෙනා අතර කතාබහ කරන චරිතයක් වී ඇත්තේ ලලිත් රත්නායකගේ ඩෙල්ෆ්ට් නිසයි. කතා නොකළත් මුවින් දහසක් වදන් කියන ඩෙල්ෆ්ට් හි තුලසි ගැන කතා කරන්න ඇය අමතක කළේ නැහැ.
මේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වෙන ඩෙල්ෆ්ට් ටෙලිනාට්‍යයේ මගේ චරිතයේ නම තුලසි. තුලසි කියන්නේ ශ්‍රවණාබාධිත තරුණියක්. ශ්‍රවණාබාධිත නිසාම ඇයට කාතාකරන්නත් බැහැ. ඒ වගේම තුලසි ජීවන අද්දැකීම් අඩු කෙනෙක්. හරිම පුංචි ලෝකයක් ඇතුළත තමයි එයා ජීවත් වෙන්නේ... ඒ ලෝකය ඇතුළත ඇයට තිබෙන සම්බන්ධතා ප්‍රමාණයත් හරිම පුංචියි. ඇය ඇයගේ තාත්තගෙන් පසුව වැඩියෙන්ම ආදරය කරන්නේ දිලෙනට. ඇය දිලෙනත් එක්ක එකට යන ඒ ගමනෙදි තුලසි තේරුම් ගන්නවා ජීවිතය කියන්නේ ඇය හිතන දේ නොවෙයි. ඒක තවත් ගොඩාක් ඉස්සරහින් තිබෙන දෙයක් කියලා. එහිදී ඇය සම්බන්ධතාවල තිබෙන සංකීර්ණ බව තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමත් එක්කම තුලසිගේ ජීවිතය වෙනස් වෙනවා. එතැන් සිට ඇයගේ ජීවිතයේ සිදුවෙන වෙනස්කම් ගැන ඩෙල්ෆ්ට් ටෙලිනාට්‍යයෙන් කතා කරනවා.
කලකට පසු ලැබෙන මේ වෙනස්ම චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරයත් හරිම ඉහළ බව තමයි සමනලී පවසන්නේ.
මෙම ටෙලිනාට්‍යය විකාශය වෙන්න පටන් ගෙන තවම සති දෙකක් වගේ කාලයක් වෙනවා. ඒ කාලයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. එම නාට්‍යය බලන ප්‍රේක්ෂකයන් මේ වෙන විට මට කතාකරලා එම චරිතයේ හොඳ නරක කියනවා. මේ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයා හොඳින් වැළඳ ගනීවි කියලා හිතනවා.
ලලිත් රත්නායක කියන්නේ මෑත යුගයේ රිවස්ටන් චිත්‍රපටය හරහා මුළු ලෝකයක් කතා කළ චරිතයක්. ඩෙල්ෆ්ට් හරහා ලලිත් රත්නායක සමනලී ගැන හරිම අපූරු කියවීමක් තිබුණා.
මේ මම ලලිත් අයියා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන තුන් වෙනි අවස්ථාව. රංගන ශිල්පියකුට ශිල්පිනියකට වැඩ කරන්න මුණගැසිය යුතුම අධ්‍යක්ෂවරයෙක් ලෙස ලලිත් රත්නායක හඳුන්වන්න පුළුවන්. තමන්ගේ නිර්මාණයට එකතු කර ගන්න රංගන ශිල්පියාගෙන් ශිල්පිනියගෙන් එම චරිතයට ගන්න පුළුවන් උපරිම සහයෝගය ලබා ගන්නවා. ඒ සහයෝගය ලබා ගන්න ඔහු භාවිත කරන භාෂාවත් හරිම කාව්‍යමයයි. ඔහු නිතරම අපට කියන්නේ චරිතය ගැන පිටපතේ තිබෙන්නේ සීයට පනහයි. ඉතිරි සීයට පනහ සම්පූර්ණ කරන්න ඕන රංගන ශිල්පිනිය හෝ ශිල්පිනිය කියලා.
මේ දිනවල ප්‍රේක්ෂකයාට දකින්නට ලැබෙන වෙනස් වෙනස් තේමාවන් රැගත් ටෙලිනාට්‍යය සහ සිනමාපට ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය සහ චින්තන මට්ටම ඉහළ නැන්වෙන බවත් ඇය පවසනවා.
මේ වන විට අපේ නිර්මාණකරුවන් ගොඩක්ම දියුණු මට්ටමක ඉන්නවා. ඒ වගේම ඉස්සරට වඩා ලෝකය අපිට සමීපයි. ඒ වගේම අපි සමාජ මාධ්‍යය භාවිත කරන විට දකිනවාට වඩා මැජික් එකක් අපේ ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ තුළ තිබෙන්න ඕන. අපි ගේන කතා තේමාවන් තුළ එම අභියෝගය මේ වන විට අපේ නිර්මාණකරුවන් භාර අරගෙන තිබෙනවා. එක එක කාලයට එක එක රැලි එනවා. ඒක නවත්වන්න අපිට බැහැ.
එහෙත් කාලයෙන් කාලයට එන රැලිවලට අනුගත නොවී වෙනස් වෙනස් තේමාවන් භාවිත කරමින් තමන්ගේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට රසවින්දනයක් මෙන්ම චින්තන මට්ටමක් ලබාදීමට උසස් සිනමා සහ ටෙලිනාට්‍යය මේ වන විට බිහිවෙනවා. වැඩිපුර කතාබහට ලක් නොවන තේමාවන් මේ වන විට ටෙලි සහ සිනමා නිර්මාණවලට ඇවිත් තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එහෙම වැඩිපුර කතාබහ නොකරන තේමාවක් කතාවකට ගේන විට ප්‍රේක්ෂකයන්ගේ නාඩිය හරියටම අල්ලන්න ඕන. එහෙම නොවුණොත් ඒක සමාජයේ අයහපතට කැරකෙන්න පුළුවන්. ඒ නිසා සංවේදී කාරණා කතාවකට නැගීමේදී කිසිවෙක් ආන්ත්‍රීයකරණය නොවෙන්න වග බලා ගන්න ඕන.
කොයි තරම් ඉල්ලුම තිබුණත් නිර්මාණ තුළ තමා දකින්න නොලැබෙන හේතුවක් කියන්න ඇය අමතක කළේ නැහැ.
මම ගොඩාක් කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක් නොවෙයි. නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. ඒ වගේම මම ජීවත් වෙන විදියක් තිබෙනවා... ඉගෙන ගන්නවා. ගෙදර උයන පිහන වැඩ කටයුතු තනියම කර ගන්නවා. ඒවාට මුල්තැන දෙමින් මම මගේ නිර්මාණ කටයුතුවලටත් සහභාගි වෙනවා. බොහෝ වෙලාවට අවුරුද්දට එකක් හෝ දෙකක් වගේ නිර්මාණ භාරගන්නවා.
රංගනයෙන් දායකවූ නිර්මාණ ප්‍රමාණය අතළොස්සක් වුවත් ඒ ගැන තෘප්තිමත් බව ඇය පවසනවා.
රඟපෑ චරිත රඟපාල ඉවරවෙලා ආයෙම බලද්දී අයියෝ මේ චරිතය මීට වඩා තවත් හොඳට කරන්න තිබුණා නේ කියලා හිතෙන අවස්ථා වැඩියි. ඒ වගේම චරිතයකට දායකත්වය සපයලා ඉවර වුණාට පසුව මම ඒ ගැන ඒ තරම් හිතන්නේ නැහැ මොකද රඟපාල ඉවර වුණාම එහි ගුණ දොස් කීමේ අයිතිය තිබෙන්නේ ප්‍රේක්ෂකයන්ට මිසක් මට ඒ චරිතය ගැන හොඳ කියන්න හරි විවේච්නය කරන්න හරි අයිතියක් නැහැ. ආපසු හැරිලා බලද්දී මම රඟපෑ චරිත ගැන සතුටක් දැනෙනවා. ඒ තෝරා ගත් තේමාව සහ චරිත. තෝර ගත්ත විදිය ගැනත් සතුටුයි. මම චිත්‍රපට මේ තරම් ප්‍රමාණයක් රඟපෑව කියනවට වඩා මම කළ චරිත තුළින් සමාජයට වැදගත් පණිවුඩයක් දෙන්න ඕන. එවැනි නිර්මාණ තෝරා බේරාගෙන රඟපෑම රංගන ශිල්පිනියක් ලෙස මගේ වගකීම බව මම නිතරම හිතනවා.
ඉදිරියේදී දැකගත හැකි නිර්මාණ පිළිබඳ පැවසීමටත් අමතක කළේ නැහැ.
විමුක්ති ජයසුන්දරගේ සහ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපට දෙකේ වැඩ මේ වන විට ඉවරයි. ප්‍රසන්න ජයකොඩිගේ සිනමාපටයේ නම තවම අපිට කියලා නැහැ. එහි මම, හේමාල් රණසිංහ සහ මහේන්ද්‍ර පෙරේරා අයියා රඟපෑවා. තිරගත වෙන දවසත් හරියටම කියන්න බැහැ.
විමුක්ති ජයසුන්දරගේ සිනමාපටය "ඔත්තු බලන තරු" ළඟඳීම තිරගත වෙනවා. එම චිත්‍රපටය ඉන්දියානු සහ ප්‍රංශ සමාගමේ නිෂ්පාදනයක්. එහි මම වාසනා කියන චරිතය රඟපානවා. එය ප්‍රධාන චරිතය නොවෙයි. එහි ප්‍රධාන චරිතය කරන්නේ ඉන්දියානු නිළියක්. ඇයගේ නම ඉන්දිරා තිවාරි. එම චිත්‍රපටයේදී වෙන රටවල අයත් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එය මගේ රංගන ජීවිතයේ ලබපු වෙනස්ම අත්දැකීමක් වුණා. එම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් වෙන එකක්. එම චිත්‍රපටයෙන් AI ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය ගැන කතා වෙනවා. එහිදී AI තාක්ෂණයට අපේ හැඟීම් ඇත්තටම තේරුම් ගන්න පුළුවන්ද යන්න ගැන කතා කරනව. මේ චිත්‍රපටය ලාංකීය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේ යැයි තමන් විශ්වාස කරන බව මේ කතාබහ අවසානයේ ඇය පැවැසුවාය.

