අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි
21 August 2026 | ක්‍රිෂාන්ත පුෂ්පතුමාර/අනූෂා රණසිං
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි
21 August 2026 | ක්‍රිෂාන්ත පුෂ්පතුමාර/අනූෂා රණසිං
‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලිනිය ඊයේ (20 වැනිදා) සවස අභාවප්‍රාප්ත වූවාය. ඇය මියයන විට 82 වැනි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති.
දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ඇය තම මියුරු කටහඬින් සහ ගැඹුරු දෘෂ්ටි කෝණයකින් හෙළ ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළාය. ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව, සමාජ සාධාරණත්වය සහ මිනිස් මනස සුපසන් කිරීම උදෙසා තම ස්වරය මෙහෙයවූ සැබෑ කලාකාරිනියකි.
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූව ග්‍රාමයේදී මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා නමින් ඇය උපත ලැබුවාය. පසුව කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇයගේ සහජ දක්ෂතා හඳුනාගත්තේ ටී. එන්. මාග්‍රට් පෙරේරා ගුරු මාතාවයි. ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” ඔස්සේ "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය තම සංගීත ක්ෂේත්‍රයේ පළමු පියවර තැබුවාය. ඉන්පසු භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරමින් ඇය සංගීත විශාරද උපාධිය දිනාගත්තාය.
1961 වසරේදී තිරගත වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන "රන්මුතු දූව" චිත්‍රපටයට පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන්, නාරද දිසාසේකරයන් සමග "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසියාය. මෙම ගීතය ඇය ක්ෂණිකව මෙරට ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබීමට සමත් වූවාය.
ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය. චිත්‍රපට සිය ගණනක පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කළ ඇය හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු නොයෙක් සම්මාන රාශියක් දිනාගත්තාය.
ඇය 1980 දශකයේදී "සත්‍යයේ ගීතය" සහ ඉන්පසු වේදිකාගත වූ "පවන" ප්‍රසංග මාලාව මෙරට දේශපාලන සහ සමාජයීය පෙරළියක් ඇති කළාය. පාලකයන්ගේ වැරැදි, සමාජ අසාධාරණය, පීඩනය සහ දූෂණයට එරෙහිව ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද වැල්වලට තම ප්‍රබල ස්වරයෙන් පණ දුන්නාය. ඒ හේතුවෙන්ම ඇයගේ "පවන" ප්‍රසංගය එවකට පැවැති රජය මගින් ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ වාරණයට පවා ලක් කරන ලදී.
ඇය ගැයූ ගීත දහස් ගණනක් අතුරින් අම්මාවරුනේ (ලොවක උතුම්ම පදවිය) රුක් අත්තන මල මුදුනේ, කුරුටු ගෑ ගී පොතේ, සැඳෑ කළුවර වැටෙන යාමයේ, යදමින් බැඳ විලංගු ලා, රන් කෙන්දෙන් බැඳ අතැඟිලි, අහස සේ ඔබ අනන්තයි වැනි ගීත පරම්පරා ගණනාවක් තිස්සේ ලාංකීය ජන හදවත් පෝෂණය කළ අමරණීය නිර්මාණ වේ. කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තාය.
මතු පරපුරට සංගීතය දායාද කරනු වස් ඇය "නන්දා මාලිනී සංගීත ආශ්‍රමය" ආරම්භ කරමින් දරුවන් දහස් ගණනකට ශාස්ත්‍රීය සංගීතය නොමිලේ කියා දුන්නාය. ඇය සංගීත ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ඇයට "දර්ශන සූරී" (Doctor of Philosophy of Fine Arts) ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලදී. ලංකාවේ විශ්වවිද්‍යාලයකින් මෙවැනි ඉහළම සම්මානයක් ලැබූ පළමු ශ්‍රී ලාංකීය කලාකාරිනිය ඇයයි. එමෙන්ම, ඇයගේ සේවය අගයමින් 2025 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය "ආචාර්ය නන්දා මාලිනී මැදිරිය" ලෙස නම් කරමින් උපහාර දක්වන ලදී.
ප්‍රවීණ ගායන ශිල්පිණි ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ දේහය මහජන ගෞරවය පිණිස අද (21 වැනිදා) පෙරවරු 10.00 සිට හෙට (22 වැනිදා) පස්වරු 03.30 දක්වා අංක 30, විජයබා මාවත, නාවල ලිපිනයේ පිහිටි ඇයගේ නිවෙසේ තැන්පත් කර ඇත.
අනතුරුව දේහය හෙට (22 වැනිදා) පස්වරු 3.30ට බොරැල්ල කනත්ත වෙත රිය පෙරහරකින් රැගෙනවිත් පස්වරු 05.00ට අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. දේහය පිළිබඳ අවමංගල්‍ය සභාවක් පැවැත්වීමට කටයුතු නොකරන බවද පවුලේ ඥාතීහු දන්වා සිටිති.
හෙට (22 වැනිදා) මෙලෙස අවසන් ගමන් යන නන්දා මාලිනිය ලාංකේය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ "යශෝරාවයයි."
තවත් යුග ගණනාවක් යනතුරු ලාංකේය ජනතාවගේ හදවත් තුළ ඇයගේ නාමය නොමැකී පවතිනු ඇත.

