සරුංගල් නූල් පැටළීම හේතුවෙන් රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක් යළි ගොඩබස්වයි
15 July 2026
සරුංගල් නූල් පැටළීම හේතුවෙන් රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක් යළි ගොඩබස්වයි
15 July 2026
රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් සඳහා අද (15) ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය යළි ගොඩබස්වා තිබේ.
ඉන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවය.
ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පවසයි.
ඒ අනුව පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් බැවින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇත.
ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවකි.
ඒ අනුව කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු කර තිබේ.
මෙමඟින් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.
එබැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට පදිංචි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසය.

