ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
07 September 2026
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
07 September 2026
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හොරණ, වගවත්ත කළුපහන අතුරු මාර්ගයේ සිදු වූ අනතුරකින් පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
කළුපහන දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
එමෙන්ම කුරුණෑගල මාර්ගයේ හොදැල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා ඇත.
එහිදී ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
මේ අතර ඉංගිරිය පාදුක්ක මාර්ගයේ බෝපේ ප්‍රදේශයේදී සව්ගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බෝපේ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
රත්නපුර පානදුර මාර්ගයේ කහංගම ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පසුපස යතුරුපැදියක් ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ.
එහිදී බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම මාවතගම රඹුක්කන මාර්ගයේ ඉලුරුවත්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
රඹුක්කන දෙසට ධාවනය වූ ලොරි රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

