brand logo
logo
ශ්‍රී ලංකාවේ රන් පදක්කම් පැතුම රුමේෂ්ගේ මූලික වටය අද

ශ්‍රී ලංකාවේ රන් පදක්කම් පැතුම රුමේෂ්ගේ මූලික වටය අද

30 July 2026


ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි මූලික වටයේ තරගය අද (30 වැනිදා) මෙරට වේලාවෙන් පස්වරු 2.55ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා මෙම වසරේ හෙල්ල විසිකිරීමේ ඉහළම දක්ෂතාව දක්වා සිටින ක්‍රීඩකයා වන රුමේෂ් තරංග සහභාගි වෙයි.


මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් සහ හිටපු ශ්‍රී ලංකා ශූර සුමේධ රණසිංහ තරග වැදීමට නියමිතව ඇත. රුමේෂ් මෙම වසරේ සිය ඉහළම දක්ෂතාව සහ පුද්ගලික ඉහළම දක්ෂතාව ලෙස මීටර 92.62ක දුරක් වාර්තා කර ඇති අතර සුමේධ සිය ඉහළම දක්ෂතාව ලෙස මීටර 85.78ක් වාර්තා කර ඇත. එසේම මීටර 400 අවසන් පූර්ව වටය සඳහා කාලිංග කුමාරගේ අද තරග කිරීමට නියමිතය.


මේ අතර තරගාවලියේ 6 වැනි දිනය වූ ඊයේ (29 වැනිදා) පැවැති තරගවලදී මීටර 200 මූලික වටයේ තරග සඳහා සහභාගි වූ අරුණ දර්ශන සහ මලිත් වර්ණකුලසූරිය එහිදී පිළිවෙළින් 7 වැනි තරගයේ 4 වැනි ස්ථානයත්, 10 වැනි තරගයේ 2 වැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වූහ. එහිදී අරුණ තත්පර 20.96ක කාලයක් වාර්තා කරද්දී මලිත් තත්පර 20.99ක කාලයකින් තරගය නිම කළ අතර සමස්ත කාල ගණනයේදී අරුණට 22වැනි ස්ථානයත්, මලිත්ට 25 වැනි ස්ථානයත් හිමිවිණි.


මේ අතර කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 57 බර පන්තියේ තරග වැදුණු කේෂානි හංසිකා එහිදී ෆීජි ක්‍රීඩිකා ජස්මින් ඩෞනාකමකමා හමුවේ ලකුණු 1-4ක් ලෙස පරාජයට පත් වූවාය.


ඊයේ රාත්‍රි පැවැත්වීමට නියමිතව තිබුණු තරගවලදී කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 51 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා නදීකා රණසිංහ නැමීබියා ක්‍රීඩක මිස්චා මොනීක් සමග තරග වැදීමට නියමිත විය. එසේම අසිත තරංග සහ අයෝමාල් අකලංක මීටර 400 කඩුලු මතින් දිවීම මූලික වටයේ තරගවලටත්, පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර කවපෙත්ත විසිකිරීම අවසන් තරගය සඳහා සහභාගි වීමට නියමිත තිබිණි. ඊට අමතරව චතුරිකා ප්‍රියන්ති බර එසවීම කාන්තා කිලෝග්‍රෑම් 86 බර පන්තියේ තරගය ද පැවැත්වීමට නියමිත විණි. මේ අතර පෙරේදා පැවැති මීටර 100 පිරිමි අවසන් තරගය තත්පර 9.83ක කාලයක් සමග ජය ගනිමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට මෙන්ම මෙම තරග වාරයේ ලොව තෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට කැමරූන්හි එමානුවෙල් එසෙමෙ සමත් විය. 32 හැවිරිදි වූ ඔහු මෙම ධාවනය සමගින් ජාතික වාර්තාව ද අලුත් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

 

More News..