ආපදා අවස්ථාවන් හිදී කාන්තාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මානුෂීය ආධාර තොගයක්
12 September 2026
ආපදා අවස්ථාවන් හිදී කාන්තාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මානුෂීය ආධාර තොගයක්
12 September 2026
මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන් හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ මාතෘ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට ලැබී තිබේ.
අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන් හිදී අවශ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙන්ම මෙරට ආපදා පෙර සූදානම ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආපදා මානුෂීය ආධාර තොගය මෙරටට ඊයේ (11) දිනයේදී ලබා දී තිබේ.
මෙම විශේෂිත ආධාර වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.
මෙම හදිසි ආපදා මානුෂීය ආධාර තොගය සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08ක්, සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහතික කූඩාරම් 03ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල 999ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල 1,283ක්, වැඩිහිටි කට්ටල 246ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා වන කට්ටල 1,659ක් ද ඇතුළත් වේ.
මෙම මානුෂීය ආධාර තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් යන මහත්ම මහත්මීන් විසින් ඊයේ (11) පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේදී භාර දෙන ලදි.
අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙම විශේෂිත හදිසි ආපදා මානුෂීය ආධාර තොගය ආපදා අවධානම ඉහළ දිස්ත්‍රික්කවල උපාය මාර්ගිකව පෙර ස්ථානගත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ තුළින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශවීම් හෝ ප්‍රාදේශීය යටිතල පහසුකම් බිඳවැටීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රවාහන ප්‍රමාදයන් අවම කරමින් හදිසි අවස්ථාවන් හිදී ක්ෂණිකව මැදිහත් වන සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය උපකරණ හා සම්පත් අදාළ ප්‍රදේශ තුළදීම ලබා ගැනීමටත් ජනතාව වෙත අත්‍යවශ්‍ය හදිසි සෞඛ්‍ය සේවා කඩිනමින් සැපයීමටත් හැකියාව ලැබෙනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි , පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග යන මහත්ම මහත්මීන් ඇතුළුව අංශ ප්‍රධානීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

