brand logo
logo
රඹෑවේ බස් රථ 3ක මාරක අනතුර-විධිමත් විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි අධිකරණයෙන් නියෝග

රඹෑවේ බස් රථ 3ක මාරක අනතුර-විධිමත් විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි අධිකරණයෙන් නියෝග

11 November 2026

රබෑවේ සිදු වු මාරක රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මිහින්තලය පොලීසියට නියෝග කර තිබේ.


මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය රඹෑව ප්‍රදේශයේ අදාළ අනතුර සිදුව තිබු ස්ථානය සහ අනතුරට පත් බස් රථ තුන නිරීක්ෂණය කළේය.


එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය මිහින්තලය පොලීසියට තවදුරටත් නියෝග කළේ, අනතුරට පත් බස් රථ තුන සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෝටර්රථ පරීක්ෂකවරයා මඟින් විමර්ශන සිදුකර අදාළ වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.


පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරින් මියගිය මරණකරුවන්ගේ මෘතදේහ පරීක්ෂා කර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේ, මළ සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.


පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදෙන ලෙසට ද නියෝග කර ඇත.


ඒ 9 මාර්ගයේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ දී බස්රථ තුනක් ගැටීමෙන් සිදු වු අනතුරින් පුද්ගලයින් සිව්දෙ‍නෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා ලැබීය.


ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (10) සිදු වූ මෙම අනතුර, එක් බස්රථයක රියදුරකුගේ අන්තරාදායක හා නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් සිදුවූවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.


වව්නියාව සිට රඹෑව දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් එම දෙසටම ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලංගම බස්රථයක මුහුණටමුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.


 

More News..