brand logo
logo
අද සැප්තැම්බර් 17

අද සැප්තැම්බර් 17

17 September 2026


බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙහි බිහි වී හැදී වැඩුණු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවට ඉමහත් බලපෑමක් කළ විශේෂ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද වැනි දිනයක උපත ලබා තිබේ. ඉන් පළමු වැන්නා අනගාරික ධර්මපාලතුමාය (1864). අනෙක් තැනැත්තා විදුලි ඉන්ජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍රය (1874). ඊළඟ තැනැත්තා ජේ.ආර් ජයවර්ධනය (1906).


මේ තිදෙනා ක්ෂේත්‍ර තුනක් නියෝජනය කරති. තමන් නියෝජනය කළ ක්ෂෙත්‍රවලින් යම් වෙනසක් කිරීම කෙරෙහි ඔවුහු අපේක්ෂා කළහ. අනගාරික ධර්මපාලතුමා මානසික වහල් බවින් නිදහස් වූ දේශීය සමාජ ආර්ථික වැඩපිළිවෙළක් සහිත සමාජයක් වෙනුවෙන් පෙනී සිටියේය. විමලසුරේන්ද්‍ර බ්‍රිතාන්‍ය පාලන සමයෙහි ජල විදුලිය පදනම් කරගෙන මෙරට බලශක්ති විප්ලවයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළහ. ජේ. ආර්. ජයවර්ධන මෙරට දේශපාලන හා ආර්ථික ක්‍රමය විවෘත ලිබරල් මොඩලයක් යටතේ වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කළහ. මේ තිදෙනාම ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් තිබුණු චරිත වූ බව රහසක් නොවේ. ජේ.ආර්. ජයවර්ධනගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ මත තිබිය හැකිය. එහෙත් ඔහු ලෝකය දන්නා ලංකාවේ නායකයන් අතළොස්ස අතර ප්‍රධාන තැනක් හිමිකර ගත්තේය. එකී ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් රටට යම් යම් ජයග්‍රහණ ලබාදීමටද ඔහුට හැකි විය. එහෙත් අනගාරික ධර්මපාලතුමා ඉදිරිපත් කළ නිවහල්, බටහිර ගැති බවෙන් මිදුණු චින්තනය කෙරෙහි අවධානය යොමු කෙරෙහි නම් ජේ.ආර් ජයවර්ධනට ඔහු තුළ තිබුණු සූර දේශපාලන පරිචය උපයෝගී කරගෙන ඉතා ශක්තිමත් රටක් බිහිකිරීමට නායකත්වය දීමට බෙහෙවින් අවස්ථාව තිබිණි. එහෙත් ඔහුගේ පාලන තන්ත්‍රය මගින් ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් සමාජ හා දේශපාලනික අසමතුලිතභාවය, විෂම භාවය වර්ධනය වන්නට විය.


විවෘත ආර්ථික මොඩලයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නද එයට පෙර දේශීය වශයෙන් රට තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූයේ නැත. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී මෙරට තුළ බල ශක්ති විප්ලවයකට පදනම දැමූ විමලසුරේන්ද්‍රට ඔහුගේ වැඩපිළිවෙළ සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැත. අද අප පමණක් නොව ලෝකයම සිටිනුයේ බලශක්ති අර්බුදයකය. අපේ වැනි රටවල් එමගින් බැටකන තරම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අපේ රට ශක්තිමත්ව ගොඩනැගීමට නම් පුනර්ජනනීය බල ශක්ති විප්ලවයකට යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා විමලසුරේන්ද්‍ර වැනි පුරෝගාමියකු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට බොහෝ දේවල් උගත හැකිය.


මේ සියල්ල සාර්ථක කරගැනීමට නම් සිය දේ නොතකන පරදේටම ආ වඩන, හොඳම දේවල් තිබෙන්නේ පිටරට යැයි සිතන, බටහිර යැයි සිතන පටු චින්තනයෙන් අප නිදහස් විය යුතුය. එදා අනගාරික ධර්මපාලතුමා වසලයා, බූරුවා, මී හරකා වැනි තරමක් රළු සේ පෙනෙන වදන් මගින් වෑයම් කළේ පරගැති චින්තනයට පහර දීමටය. පරගැති බවට පහර දුන්නද ජපානය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලින් උගත යුතු බොහෝ දෑ තිබෙන බව එතුමා අපට සිහිපත් කළේය. විශේෂයෙන් අපේ රට ගොඩ දැමීමට නම් නව කර්මාන්ත ප්‍රගුණ කරමින් රටට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත් ආදී සියල්ල මෙහිම නිෂ්පාදනය කළ යුතු බව ඔහුගේ දැක්ම විය. මාලදිවයිනෙන් කරවල, උම්බලකඩ ආදිය ආනයනය කිරීම ධර්මපාලතුමා විවේචනය කළේ එකී පදනමිනි. ධර්මපාල තුමාගේ 162 වැනි උපත් සමරුව සමරන අතර අප රටක් හැටියට සිටින්නේ කවර තැනක දැයි විමසා බැලිය යුතුය. අපට අවශ්‍ය ආහාර පාන ඇතුළු බොහෝ දේවල් රඳා පවතිනුයේ ආනයනය මතය.


එනිසා රටක් හා ජාතියක් හැටියට අප හිඟමනට වැටී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. හිඟමන ද නම්බුකාර යැයි සලකන දේශපාලන සංස්කෘතියක්, සමාජ ක්‍රමයක් බිහි වී තිබේ. ණය වී හෝ ජොලි කිරීමේ ලිබරල් දෘෂ්ටිය මෙකී නම්බුකාර හිඟමනට අවශ්‍ය කියවීම ලබාදී තිබේ. එදා අනගාරික ධර්මපාලතුමා අවධානය යොමු කළේ ශක්තිමත් රටක් ගොඩනැගීම කෙරෙහිය. එවැනි රටකට අවශ්‍ය චින්තනමය විප්ලවය කිරීම කෙරෙහි එතුමා මූලික අවධානය යොමු කළේය. සිංහලයාගේ පුහු ජීවන පැවැත්ම ධර්මපාලතුමාගේ දැඩි විවේචනයට ලක් විය. පුහුවැඩ සඳහා සිංහල බෞද්ධයා කාලය සහ ධනය වැය කරන ආකාරය එතුමා පෙන්වා දුන්නේය. එහෙත් තවම සිටිනුයේ පුහුවැඩ සඳහා ධනය සහ කාලය කා දමන සිංහල බෞද්ධයන්මය. ධර්මපාලතුමා ජාත්‍යන්තර නායකයෙක් විය.


ධර්මාශෝක අවදියෙන් පසු බුදුසමය ලෝක ව්‍යාප්ත කිරීම සඳහා පුරෝගාමී වූ පුද්ගලයා ඔහුය. ඔහුට අධිරාජ්‍ය බලයක් තිබුණේ නැත. ඔහු ඒ සියලු කටයුතු කළේ හිරු නොබසින බව කියූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යටත්ව තිබුණු පසුබිමකය. පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කිරීම සම්බන්ධයෙන් අපට උගත හැකි පාඩම් ධර්මපාල සිරිතෙහි ඕනෑ තරම් තිබේ. බෞද්ධ දර්ශනය මැනවින් හඳුනාගෙන සිටි ඔහු දාර්ශනික වශයෙන් ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථ වාදය විවේචනය කළේ ය. අවසාන වශයෙන් ලංකාවේ මිනිස්සුන්ට හොඳක් බලාපොරොත්තුවෙන් වැඩ නොකළ යුතු බවද අනගාරික ධර්මපාලතුමා අපට උගන්වා තිබේ. අවසාන මොහොතේ එතුමා ඉදිරි ආත්මභාවවලදී ඉන්දියාවෙහි උපත ලබා බුදු සසුනට සේවය කිරීමට ප්‍රාර්ථනා කළේ එනිසාය. ලංකාවේ ලිබරල් සහ මාක්ස්වාදී බැතිමතුන් ධර්මපාලතුමා දෙස උපැස් යුවළට පහළින් බැලීමට පුරුදු වුවද ඒ මුග්ධ බැතිමතුන්ට වඩා ධර්මපාලතුමා තවමත් ඉදිරියෙන් සිටී.

 

More News..