brand logo
logo
 ඉදිරි පැය 36 දී වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි පැය 36 දී වැසි තත්ත්වයේ වැඩිවීමක්

21 October 2026


ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.


එහි බලපෑම හේතුවෙන් අද (21) සහ හෙට (22) දිනයන්හිදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වේ.


මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.


ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


එමෙන්ම, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද නිවේදනයේ සඳහන් වේ.


පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

More News..