brand logo
logo
සංචාරය අවසන්කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

සංචාරය අවසන්කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

10 September 2026

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සිය සංචාරය අවසන් කර අද (10) දහවල් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.


ඒ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනි.


සිය සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.


එම හමුව ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී දෙරටට අදාළ කරුණු සහ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබේ.


රාජ්නාත් සිං මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී ඇති අතර, එහිදී ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඇතුළු දෙරටට අදාළ පොදු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.


එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ද සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා විසින් ඔහු පිළිගනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.


අභියෝගාත්මක හා හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව ද මෙහිදී පළ කර ඇත.


මේ අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් තුනකට ද අත්සන් තබා තිබේ.

 

More News..