ජනතාව අකමැති වුණත් රටට අවශ්ය මූල්ය ප්රතිපත්ති ක්රියාත්මක කළ යුතුයි - මහ බැංකු අධිපති
01 November 2026
ජනතාව අකමැති වුණත් රටට අවශ්ය මූල්ය ප්රතිපත්ති ක්රියාත්මක කළ යුතුයි - මහ බැංකු අධිපති
01 November 2026
ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත නොබලා රටට අවශ්ය මූල්ය ප්රතිපත්ති අනිවාර්යයෙන්ම ක්රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
කැලණිය විශ්වවිද්යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව මේ වනවිටත් දැඩි තීරණ හා ප්රතිපත්ති ක්රියාත්මක කර ඇති බවය.
එමෙන්ම එම ප්රතිපත්ති ඉදිරියටද අවශ්යතාව අනුව ක්රියාත්මක කිරීමට පසුබට නොවන බවත් පැවසීය.
මහජන කැමැත්ත මත පමණක් පිහිටා මෙවැනි තීරණ ක්රියාත්මක නොකිරීමෙන් අවසානයේ සිදුවන්නේ සමස්ත රටටම බරපතළ හානියක් බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
රටේ පවතින අවශ්යතාව අනුව බදු ප්රමාණයන් ඉහළ නැංවීමට සිදුවන නමුත්, බහුතරයක් ජනතාව බදු වැඩි කිරීමට අකමැති බව ඔහු මෙහිදී සඳහන් කළේය.
මෙවැනි තීරණ හේතුවෙන් සමාජය තුළ විරෝධතා පැනනැගී යම් අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
එනිසා බදු අඩු කිරීම හෝ වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය සිදුකිරීම රජයේ වගකීමක් බව මහබැංකු අධිපතිවරයා පැවසීය.
එමගින් ජනතාව දැනුවත් කර මෙම ප්රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව සඳහන් කළේය.
බදු සංශෝධන නිවැරදි අවස්ථාවේදී සිදුකිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, බදු වැඩි කරන සෑම අවස්ථාවකදීම ඊට අකමැති පිරිසක් සමාජයේ සිටින බව රජය තේරුම් ගත යුතු බව පැවසීය.
පසුගිය සමයේ රට තුළ පැවති දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද, රටේ ආර්ථිකය යම් මට්ටමකට හෝ ස්ථාවරව තබා ගැනීමට හැකි වූයේ ජනප්රිය නොවන නමුත් රටට අත්යවශ්ය තීරණ නිවැරදිව අවස්ථාවේ ක්රියාත්මක කිරීම නිසා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

