brand logo
logo
දුමින්ද දිසානායකට ඇප

දුමින්ද දිසානායකට ඇප

10 September 2026

රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවක් කොළඹ මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.


මෙම සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදු වුණි.


මෙම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.


එම අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීම සිදුවුණි.


ඉන් අනතුරුව විත්තිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කර තිබූ බව සඳහන් කළේය.


කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.


එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.


ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 02 වන දා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.


2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

 

 

More News..