brand logo
logo
 කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විමර්ශන ප්‍රගතිය ඇමති නලින්ද කියයි

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විමර්ශන ප්‍රගතිය ඇමති නලින්ද කියයි

20 October 2026


කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.


අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධව සිදුකළ විමර්ශන මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන් එළැඹෙන 28 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්ය.


එමෙන්ම අධිකරණ නියෝග මත කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය අංශයට භාර දී ඇති බවත් ඔවුන් මේ සම්බන්ධව සියලු තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,


"අධිකරණ නියෝගය මත කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය අංශයට භාර දීලා තිබෙනවා. ඒ අය මේ සියලු තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි. ඊට අමතරව වන ජීවි දෙපාර්තමේන්තුව පැත්තෙන් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවෙනවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැතිව. ඒකට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණයකුත් මේ අතර සිදුවෙනවා. ඊට අමතරව ජනාධිපතිතුමා විසින් සය පුද්ගල කමිටුවක් පත් කරලා තිබෙනවා මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සහිතව. ඊටත් අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන පරීක්ෂණයක් දියත් කරමින් පවතිනවා.


මේ සිදුවීම සම්බන්ධව දෙදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා ඔක්තෝබර් 28 වැනි දින දක්වා. මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ බස්නාහිර පළාත් අඩවි වන කාර්යාලයට මහජනතාවගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙන. ඒ අනුව වලාන දූශණ මර්දන ඒකකය තමයි මේ කටයුතු සිදුකරමින් පවතින්නේ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් පළමුවැනි පුද්ගලයාගේ නිවසේ තිබී උණ්ඩ ඇතුළු අවි කිහිපයක් හොයාගෙන තිබෙනවා. ඒ වගේම ඒ ලැබුණු සාක්ෂි මත තමයි දෙවැනි පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ. වලාන දූශණ මර්දන ඒකකය විසින් ඉතුරු 4 දෙනා අත්අඩංගුවට ගන්නේ මේ සිදුවීමට අදාළව නෙමෙයි. මේ ගැන තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා විමර්ශනවලදි ලැබෙන සාක්ෂි මත ඉදිරි කටයුතු සිදුවේවි."

 

More News..