brand logo
logo
දොළොස් වසරකට පසු එළැඹි නැකත අදයි

දොළොස් වසරකට පසු එළැඹි නැකත අදයි

27 September 2026 | නදුන්ක නෙත්සර

එදා අතීත රජ දවස සුද්දා අපට හොඳ හැටි තැළුවේය. වසර ගණනාවකට පසු අපට සුද්දාට තළන්නට මගක් හිමි විය. ඒ සුද්දා විසින්ම හඳුන්වාදුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ය. සුද්දාගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ ක්‍රීඩකයෝ කෙතරම් ඉහළට ගියේදයත් සුද්දාටත් පෙර ලෝක කුසලාන ද දිනූහ. සුද්දාගේ රටටම ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර වන ලෝඩ්ස් ඇතළු ක්‍රීඩාංගණවලදී හරඹ පා සුද්දන් දණගස්වා පැමිණියහ. පසුව කාලයත් සමග අප ක්‍රිකට් ක්‍රීඩාව පල්ලම් බසිද්දී, එරටදී නොව මෙරටදීවත් ජයක් ලැබීම උගහට තත්ත්වයක් උදා විය. කෙසේ හෝ මෙම ලිපිය අකුරු කෙරෙන අවස්ථාව වන විට, හැරී බෲක් ප්‍රමුඛ සුද්දන්ගේ පිලට මව්‍ රටේදීම තරගාවලි පරාජයක් උරුම කරදීමේ දුලභ අවස්ථාවක් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ අප කණ්ඩායමට කාල‍යාගේ ඇවෑමෙන් උදාවී ඇත්තේය.


විස්සයි විස්ස තරග 3කට සහ එක්දින තරග 3කට එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු පරිදි ඉහළින්ම පරදින්නට සිදුවිය. විස්සයි විස්ස තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා ශ්‍රී ලංකා පිල තුන් ඉරියව්වෙන්ම දියාරු ක්‍රීඩා රටාවක නිරත වද්දී, ජයග්‍රහණය අසලකවත් නොවීය. පිතිකරුවෝ පෙරහැරේ යද්දී, පන්දු යවන්නෝ හොඳ හැටි බැට කෑහ. අනතුරුව ආබාධ සුව වී පැමිණි කුසල් මෙන්ඩිස් නායකත්වය භාර ගනිමින් එක්දින තරගාවලිය ඇරැඹිණි. මෙවර පන්දු යවන්නෝ සාධාරණය ඉටු කළද පිතිකරුවන්ගෙන් කිසිදු දායකත්වයක් නොවීය. ප්‍රතිඵලය සුපුරුදු පරාජයම ලෙසින් ලියැවෙද්දී, අපේ ක්‍රිකට් තිත්තව සිටි ක්‍රීඩා ලෝලීන් කලකිරීමෙනුත් එහා තත්ත්වයකට පත් විය. ඒ වන විට අප එංගලන්තය හමුවේ ජාත්‍යන්තර පිටියේ අඛණ්ඩව ලබා තිබූ පරාජයන් ගණන දහයකි. එවැනි පසුබිමක දෙවැනි එක්දින තරගය ඇරැඹෙද්දී වැඩි දෙනා බලාපොරොත්තු අතහැර තිබීම අරුමයක් නොවීය. එනමුත් ප්‍රතිඵලය ද බලාපොරොත්තු නොවූ ලෙසින් ජයග්‍රහණයක් ලෙස සටහන් වූයේ ඉඩෝරයේ ඇදහැලුණු මල්වැස්සක් ලෙසිනි.


ශ්‍රී ලංකාව එලෙසින් එංගලන්ත පිලට එරෙහිව එංගලන්තයේදීම එක්දින තරග ජයක් හිමිකරගන්නේ වසර 7කට පසුවය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම ජයග්‍රහණය සාධනීය ලෙස දක්ෂතා දක්වමින් සටනක් දී ලබාගත් ජයක් වීමය. පැතුම් - කමිඳු ආරම්භය වේගවත් නොවූ නමුදු ඉනිමට ස්ථාවරත්වයක් ලබාදීමට ඔවුන් දෙදෙනා සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ පිබිදීම සිදුවූයේ පැතුම්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් සමගිනි. පන්දුවාර කිහිපයකට මුහුණදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ගියරය මාරු කරමින් පහර එල්ල කරන්නට වූ මෙන්ඩිස් එංගලන්ත පන්දු‍යවන්නන් පීඩනයට ලක්කිරීමට සමත් විය. කමිඳු අනෙක් අන්තයෙන් ලබාදුන් අනර්ඝ සහය සමගින් තරගය මෙන්ඩිස්ලාගේ සංදර්ශනයක් වූයේ එංගලන්ත පන්දු යවන්නන් නරඹන්නන් කරමිනි. කමිඳුගෙන් පසු පිටියට පැමිණියේ ජාත්‍යන්තරයට තවමත් ආධුනිකයකු වන පවන් රත්නායකය. ජාත්‍යන්තරයට ආධුනිකයකු වුව පවන් එංගලන්ත පිලට ආධුනිකයකු නොවීය. මෙම වසර මුලදී සිය කුළුඳුල් එක්දින ශතකය එංගලන්තයට එරෙහිව රැස් කළ පවන්, මෙවර අවස්ථානුකූල වටිනා ඉනිමක් දියත් කළේය.


කුසල් මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් දියත් කරද්දී සෙසු පිතිකරුවන් ඔහු වටා ඉනිම ගොඩනැගූ අයුරු මෙන්ම අසලංක හැරුණු විට සෙසු පිතිකරුවන් සියල්ල ඉදිරිපෙළින් ලබාදුන් රිද්මය ඉනිම අවසන තෙක් පවත්වාගත් අයුරු සතුටුදායකය. එය අප ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලයේ නුදුටු විරළ ගණයේ දක්ෂතාවකි. කෙසේ වෙතත් පළමු පන්දුවාර 10 තුළදී පන්දු 42ක් නිලකුණු පන්දු ලෙසින් සටහන් වීම අපට දැනුණු පාඩුවක් විය. කඩුලු අතර දිවයමින් ලකුණ දෙක බැගින් සොරා ගන්නට අප පිතිකරුවන් අමතක නොකළ යුතුය. එම කාර්යයේදී එංගලන්ත පිතිකරුවන් අපට වඩා සාර්ථක වූ හෙයින් පන්දුවාර 10ක් වන විට ලකුණු 82ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින පිටියේ ඉහළම පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාව කරා ළඟාවීමට ඔවුනට හැකි විණි. නායකයාගේ භූමිකාවෙහි වැදගත්කම ඉස්මතු වූයේ එම පීඩන අවස්ථාවේදීය.

අවශ්‍යම මොහොතේ කලබල නොවුණු මෙන්ඩිස් නිසිලෙස සිය සැලසුම් ක්‍රියාත්මක කළේය. වේග පන්දුවෙන් දඟ පන්දුවට මාරු වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙස වෙල්ලාලගේ, බෙන් ඩකට් - ටොම් බැන්ටන් සබඳතාව බිඳදමිමින් එංගලන්ත බලකොටුවට රිංගීමට දොරටුව විවර කළේය. සචිඳු කොළඹගේ වෙත එංගලන්ත පිතිකරුවන් දැඩි ප්‍රහාරයක් එල්ල කරද්දී ඔහු මත විශ්වාසය තැබූ මෙන්ඩිස් රූට්ගේ කඩුල්ල ලබාගත්තේය. ජය පිපාසාවෙන් පන්දු රකින අයුරු ප්‍රේක්ෂකයන්ට ප්‍රිය දසුනක් විය. අනතුරුව පන්දුව භාරගත් වේග පන්දු යවන්නෝ නිසි එල්ලයේ පන්දු යැවීමේ ප්‍රතිඵලය වූයේ 37 වැනි පන්දුවාරයේ සිට පන්දුවාර 10ක් යනතෙක් එංගලන්තයට හතරේ සීමාව තහනම් වීමය. කඩුලු 5ක් අතැතිව ජයග්‍රහණය සඳහා පන්දු 60කදී ලකුණු 63ක් අවැසිව සිටි එංගලන්තය නිසි පරිදි පාලනය කළ ශ්‍රී ලංකා පිල අවසානයේ ලකුණු 16ක ජයක් භුක්තිවිඳීමට සමත් විය.


මෙම ජයග්‍රහණයේ වටිනාකම වැඩිවන්නේ එය වාසනාව මත නොව සියලු අංශයන්ගේ දක්ෂතාව මත උකහාගත් ජයක්වීම නිසාය. දැන් අප කණ්ඩායම අභිමුව ඇත්තේ වසර 12කින් පසු උදා වූ අනගි අවස්ථාවකි. ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව එරටදී මෙන්ම මෙරටදී ද, වසර 12කට මෙපිටින් එක්දින තරගාවලි ජයක් ලැබ නැත. එම තරගාවලි ජය සඳහා හොඳම දවස තරග සංචාරයේ නිමාව සනිටුහන් කෙරෙන අද තරගය සමගින් හිමිව ඇත්තේය. තරගය පැවැත්වෙන ඕවල් පිටියද, ඉහළ ලකුණු සහිත පිතිකරුවන්ට යෝග්‍ය පිටියක් වන අතරම ලකුණු 322ක් වන මෙහි ඉහළම සාර්ථක හඹායාම ලියවී ඇත්තේ ශ්‍රී ලංකාව නමින් වීම විශේෂත්වයකි. පරාජයන් රැල්ලකට හසුව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් පිටතට පැමිණීමේ පළමු පියවර තැබුවේය. එම ජයග්‍රහණය පුස් වෙඩිල්ලක් වීමට නොදී ජය මාවතට පිවිසීමේ පියවර මෙම තරගාවලියෙන් තැබුවහොත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත් හෙටකට හේතු සාධක වනු ඇත.

 

More News..