brand logo
logo
 ‘මෝදර චතු’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අත්බෝම්බ දෙකක් සොයාගනී

‘මෝදර චතු’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අත්බෝම්බ දෙකක් සොයාගනී

25 October 2026


මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කේ.ඩී. චතුරංග පෙරේරා නොහොත් 'මෝදර චතු' නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු මත මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.


මෝදර චතු නැමැත්තා ඕමාන රාජ්‍යයේ සැඟව සිටියදී එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් එරටට ගොස් ඉකුත් අගෝස්තු මාසයේ සැකකරු මෙරටට රැගෙන ආහ.


අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දෙනු ලැබීය.


කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරුු මත මාදම්පිටිය කඳවුරුවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල නිවසක සඟවා තිබූ මෙම අත්බෝම්බ පොලිසිය සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගත් අත්බෝම්බ දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුවවීර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.


 

 

More News..