brand logo
logo
පූජිත් ජයසුන්දරගේ නඩු තීන්දුව ජූලි 31 ප්‍රකාශයට පත් කෙරේ

පූජිත් ජයසුන්දරගේ නඩු තීන්දුව ජූලි 31 ප්‍රකාශයට පත් කෙරේ

12 June 2026


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වි සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.


මෙම නඩුව අද (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.


එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් මේ වනවිට ඉදිරිපත් කර අවසන් කර තිබේ.


එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.


මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ද අද (12) කැඳවූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා දේශන ඉදිරිපත් කළේය.


ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (15) දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 

More News..