Best News Website award
brand logo
logo
බංග්ලාදේශ ඇඟලුම් සේවකයන්ගේ අවම වැටුප 36%කින් ඉහළට

බංග්ලාදේශ ඇඟලුම් සේවකයන්ගේ අවම වැටුප 36%කින් ඉහළට

25 November 2026

සති ගණනාවක් පුරා පැවති විරෝධතා සහ වැඩවර්ජන හමුවේ බංග්ලාදේශ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අවම මාසික වැටුප 36%කින් වැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ.


මෙම තීරණයත් සමඟ මේ වන විට ටකා 12,500ක් (ඩොලර් 102ක්) ලෙස පවතින අවම වැටුප, ටකා 17,000ක් (අමෙරිකානු ඩොලර් 139ක්) දක්වා ඉහළ යනු ඇත. එහෙත්, මෙය වසර දහයකට වැඩි කාලයක් තුළ සිදුකළ අවම වැටුප් වැඩි කිරීම බව සඳහන් වේ.


අවම වේතනය දෙගුණයක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් සේවකයන් ආරම්භ කළ මෙම විරෝධතා හේතුවෙන් එරට කර්මාන්තශාලා රැසක් වසා දැමීමට සිදුවූ අතර, මහාමාර්ග අවහිර වීමෙන් නිපැයුම් කටයුතුවලටද දැඩි බාධා එල්ල විය. 


මිලියන 4කට අධික පිරිසක් සේවයේ නිරත වන බංග්ලාදේශ ඇඟලුම් ක්ෂේත්‍රය, එරට සමස්ත අපනයන ආදායමෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරයි.


H&M, Zara, Walmart, Target සහ Gap වැනි ලොව සුප්‍රකට ඇඟලුම් සමාගම් රැසකට ඇඟලුම් සැපයුම් සිදුකරන්නේද මෙම කර්මාන්තශාලා මගිනි.


රජය මගින් පත්කරන ලද සාමාජිකයන් 6 දෙනෙකුගෙන් යුත් වේතන මණ්ඩලය පැය 12ක දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙම නව වේතන ව්‍යුහය 4-2ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන ඇත.


සේවකයන් ආරම්භයේදී අවම වේතනය ටකා 32,000ක් ලෙස ඉල්ලා පසුව එය ටාකා 18,000 දක්වා සංශෝධනය කළද, කර්මාන්තශාලා හිමියන්ගේ අවසාන යෝජනාව වූ ටකා 17,000ක මුදල මෙලෙස අනුමත වී තිබේ.


නව ශ්‍රේණි 4 යටතේ සේවකයන්ගේ මාසික වේතනය ටකා 17,000 සිට ටකා 21,500 දක්වා පරාසයක පවතිනු ඇත.


පැවැති විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් දින 18ක කාලයක් තුළ කර්මාන්තශාලා 317කට අමෙරිකානු ඩොලර් මිලියන 428ක නිෂ්පාදන අලාභයක් සිදුව ඇති බව බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.


එමෙන්ම විදේශීය ඇණවුම්කරුවන් ඩොලර් මිලියන 254ක පමණ ඇණවුම් වෙනත් රටවලට යොමු කිරීමටද මේ හේතුවෙන් පියවර ගෙන ඇත.


මෙම නව වේතන ක්‍රමය දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සිට සේවකයන්ට ඊට අදාළ ගෙවීම් හිමිවේ.

 

More News..