brand logo
logo
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

13 October 2026

එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කෙරෙන නඩුව සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අල්ලස් කොමිසම තීරණය කර තිබේ.


නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.


නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම් අදත් ප්‍රතික්ෂේප වූ අතර ඔහු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.


ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී යූරෝ මිලියන 1.4කට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවතින නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබීය.


නඩුවේ සිව්වන සැකකරු වන, රුපියල් මිලියන 100ක් අල්ලස් ලෙස ලබාගත්තැයි චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණි.


එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නඩුවේ වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය.

"ස්වාමීනී මෙම විමර්ශනය අවසන් බව දැනුම්දීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් අද අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරනවා. විමර්ශනය අවසානයේ එම උදෘත නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර තිබෙනවා. එම විමර්ශන උදෘත පරික්ෂා කිරීමෙන් පසුව නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තිබෙනවා මෙම නඩුකරයේ පස්වන සැකකරු ලෙස බිස් සොලියුෂන් සමාගම නම් කරන ලෙසට. එය බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි වී තිබෙන සමාගමක්. එහි අධ්‍යක්ෂවරිය ලෙස මෙහි දෙවන සැකකාරිය වශයෙන් නම් කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක කටයුතු කර තිබෙනවා."

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

"ස්වාමීනී.. ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධි චෝදනා ගොනු කරන්න තීරණය කර තිබෙනවා. අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එකම අධි චෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත්කොට අවසන්. එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මෙම සිද්ධිය තුළින් රාජ්‍යය කෙරෙහි ඇති වූ බලපෑම සැලකිල්ලට ගෙන මෙම නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අග විනිසුරුවරයා වෙත ඉල්ලීමක් සිදු කිරීම සුදුසු බව නීතිපතිවරයා නිගමනය කළා. ඊට එකඟතාවය පළ කර තිබෙන අල්ලස් කොමිසම අගවිනිසුරුතුමා වෙත එම ඉල්ලීම යොමු කිරීමට තීරණය කර තිබෙනවා. එම ඉල්ලීම මේ වන විටත් යොමු කර ඇතැයි මා විශ්වාස කරනවා."

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

"ස්වාමීනී මෙම සිද්ධියට අදාළ විමර්ශන දැන් අවසන් වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසත් ඔවුන් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවත් සඳහන් කළා. එම නිසා එම කරුණු සුවිශේෂි කරුණක් සේ සලකා ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව තිබෙනවා."

එම කරුණු සුවිශේෂි කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා,

"ස්වාමීනි මේ අවස්ථාවේදී ඇප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නැති බවයි මගේ අදහස. මොකද මේ සිද්ධියට අදාළ නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කිරීමට තීරණය කර තිබෙනවා. එවැනි අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නැහැ. එය සිදු කළ යුත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමෙන් පසුවයි. නඩු පැවරීමේ කටයුතු උපරිම වේගයෙන් සිදුකරනු ලබනවා. මෙම අවස්ථාවේදී ඔබතුමාගේ අධිකරණය ඇප සම්බන්ධයෙන් මැදිහත් විය යුතු නැහැ " යනුවෙන් කියා සිටියේය.

ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

''මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව පැමිණිල්ල විසින් සඳහන් කර තිබෙනවා. එමනිසා විමර්ශන අවසන් වීම හා නඩු පැවරීම අතර කාලසීමාව තුළ ප්‍රමාදයක් උද්ගත වන බවක් පෙනී යන්නේ නැහැ. එමනිසා විමර්ශන අවසන් වීම යන කරුණ සුවිශේෂී කරුණක් හැටියට සලකන්න බැහැ. ඊට අමතරව මෙම සැකකරුගේ මව සහ පියා රෝහල්ගතව සිටින බව දැනුම්දුන්නත් ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා හෝ ලේඛන කිසිවක් මාගේ අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. එම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නැහැ"

ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු උද්ගත නොවන නිසා සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරු ලබන 27 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ බව තම අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට නියම කළේය. 

එමෙන්ම විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ සැකකරුගේ ඇප සලකා බැලීමට තම අධිකරණයට ඇති අවස්ථාව අහිමි වන්නේ මෙම නඩුකරය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කිරීමෙන් පසුව බවත් එතෙක් මෙම සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු උද්ගත වුවහොත් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරිමට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේය.

 

More News..