ගංගාවල ජල මට්ටම අවදානම් මට්ටමක - වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
21 September 2026
ගංගාවල ජල මට්ටම අවදානම් මට්ටමක - වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
21 September 2026
ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ බොහොමයක් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පහුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතී.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අද උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවය.
පෙරේදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානම පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතින අතර කැලණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ද ඉහළ අගයක පවතී.
මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ද අඩුවෙමින් පැවතුණද, මේ සියලු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ධාරිතාව මේ වන විට සියයට 34ත් 35ත් අතර ප්‍රමාණයක පවතින බවය.
එම ජලාශ වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ පිහිටා තිබීම නිසා එම ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය නිසා කොත්මලේ සහ පොල්ගොල්ල ඇතුළු ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල ක්‍රීඩාවල යෙදීම හෝ වෙනත් කටයුතු සඳහා පිවිසීම ඉතා අනතුරුදායක බව ද මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

