දුබල ගතට සිතේ විරියදී නැණ මල් පුබුදු කළ දිරිය දියණිය තරුෂා
23 November 2026 | ජයසිරි පේදුරුආරච්චි - මාතර
දුබල ගතට සිතේ විරියදී නැණ මල් පුබුදු කළ දිරිය දියණිය තරුෂා
23 November 2026 | ජයසිරි පේදුරුආරච්චි - මාතර
කෙනකුට රූපයෙන් අවධානය දිනා ගත හැකි වුවත් ගෞරවය ලබා ගත හැකි වන්නේ ඉගෙනීම තුළිනි. එමෙන්ම ඉගෙනුමත් සමග ඇතිවන සහකම්පනය දිවිය දිනන්නටත්, ජීවිතය පුරවාලන්නටත් ලබා දෙන්නේ අපමණ වූ ශක්තියකි. මේ සියල්ල කැටිවූ අපූරු අවස්ථාවක් පසුගියදා පැවැති රුහුණ විශ්ව විද්‍යාලයීය 33 වැනි උපාධි ප්රදානෝත්සවයේදී දක්නට ලැබුණු අතර අද වනවිට එය මුළු රටේම කතාබහට ලක්වුණු ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේය.
මෙරට ප්‍රධාන මාධ්‍ය සේම සමාජ මාධ්‍යය කැළඹීමට ලක් කළ එම කතා පුවතේ කතා නායිකාව වන්නේ දෙනිපිටිය, හට්ටියදූව, "සුහද" නිවෙසේ පදිංචි 27 හැවිරිදි තරුෂා හේවාපතිරණ දියණියයි.
විශ්‍රාමික ගුරු උපදේශක බන්දුල හේවාපතිරණගේත්, විශ්‍රාමික පාඨශාලාචාරීනී එච්. කේ. කේ. පද්මිනීගේත් වැඩිමහල් දියණිය වූ තරුෂා මෙලොව එළිය දකින්නේ 1999 ජනවාරි 02 වැනිදා ය. තරුෂා තම මවගේ කුස තුළ වැඩෙමින් සිටියදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ප්‍රකාශ වී තිබුණේ ඇය නිරෝගීව කුස තුළ වර්ධනය වෙමින් සිටින බවයි. එහෙත් දෛවයේ සරදමකට දෝ තරුෂා මෙලොව එළිය දකින විට ඇතිවූ යම් විශේෂිත තත්ත්වයක් මත මෙලොව එළිය දුටුවේ ස්නායු ආබාධ සහිත දියණියක් ලෙසින් වීම දෙමාපියන්ගේ සිත් සසල කළ සිදුවීමක් විය.
තරුෂා මෙලොවට බිහිවද්දී ඇයගේ සිරුර දම් පැහැ ගැන්වී තිබීමත්, නිරෝගි දරුවකු මෙන් නොහැඬීමත් දුටු ඒ මොහොතේ රාජකාරියේ යෙදී සිටි හෙද නිලධාරිනිය තත්පර කීපයක් තුළ එතැන තිබුණු රෙදි කඩකින් ඔතා ගත් තරුෂා රැගෙන වේගයෙන් දිව ගියේ ළදරු දැඩි සත්කාර ඒකකය වෙතයි. එය ඉතා ඥානාන්විත ක්‍රියාවක් වූ අතර හෙදියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තරුෂාගේ දිවි රැකුණේ අහම්බයකිනි.
උපතේදීම අහඹු ලෙස ජීවිතය රැකුණද තරුෂා නොහැඬීම අංග චලන නොකිරීම දෙමාපියන්ගේ සිත් දුකින් පුරවන ලද අවස්ථාවක් වූ අතර දිනෙන් දින වැඩෙන තරුෂා පරීක්ෂා කළ වෛද්‍ය මතය වූයේ ඇයගේ උපතේදී සිදුවූ යම් හිරවීමක් තුළ ඇය ස්නායු තෙරපීමකට ලක්ව ඇති බවයි. ඇයගේ මෙම තත්ත්වයට හේතුව එය බව දැනගත් දෙමව්පියන් තරුෂා තව තවත් ආදරයෙන් රැක බලා ගත්තාය.
තරුෂාට වයස අවුරුදු හතර පසුවන තෙක්ම ඇවිද ගැනීමේ හැකියාව තිබුණේ නැත. කකුල් නමා දනිස් පමණක් භාවිත කළ තරුෂා කකුල් දිගහැර ඇවිදීමට උත්සාහ කළේ නැත. එහෙත් දෙමාපියන්ද උත්සාහය අත් නොහැර තම පළමු දරුවා වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම කළේ අනාගත බලාපොරොත්තු බිඳ නොගෙනය.
දෙමව්පියන්ගේ බලාපොරොත්තු ටිකින් ටික ඉටු කරමින් ඇවිදින්නට වෙර දැරූ තරුෂා දෙපයින් නැගී සිට ඇවිදීමටත්, දෑතින් යමක් කිරීමටත් උත්සාහ දරද්දී මව්පියන්ගේ සිත් සතුටින් පිරී ගියේය.
තරුෂාගේ මවුපියන් දෙදෙනාම ගුරුවරුන් වීමත් සතියේ දිනවල රැකියාවට යාමට සිදුවීමත් නිසා ඇය රැක බලා ගැනීම ගැටලුවක් වුවද ඊට විසඳුමක් ලෙස මව මෙන්ම ඇයට ආදරය කළ දෙවැනි මවක් ලැබී තිබුණේ පෙර පින් බලයෙනි. ඒ අන්කිසිවකු නොව තම පියාගේ වැඩිමහල් සහෝදරිය වූ චන්ද්‍රාණී හේවාපතිරණ නැන්දාය. චන්ද්‍රාණි නැන්දා ඇයට මව ම විය. තරුෂාට කවන්නට, පොවන්නට, නාවන්නට මෙන්ම ඇයගේ සෙසු අවශ්‍යතාවන්ද ඇය ඉටු කරන ලද්දේ මහා කැපවීමකිනි. චන්ද්‍රාණි නැන්දා නිවෙසේ රැඳෙමින් එම කටයුතු සිදුකිරීම තරුෂාගේ මව්පියන්ට මහත් අස්වැසිල්ලක් විය.
දින දින ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙද්දී තරුෂාට අධ්‍යාපනය ලබා දෙන්නට තීරණය කළ මව්පියන් ඇය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ඇතුළත් කළේ මාතර නිදන්ගල කනිෂ්ඨ විද්‍යාලයටයි. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා එහි අකුරු කළ තරුෂා අකුරු නොලියා සිය මතකයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිට විභාගයෙන් ලකුණු 97 ක් ලබා ගැනීමට තරම් හපනියක් විය. එය මාපියන් තුළ තරුෂා ගැන වඩා සුබවාදී ආකල්පයක් ඇතිකරන්නට හේතුවක්ද විය.
ඉන්පසු තරුෂා සිය මව සේවය කළ මාතර වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වූයේ ද්විතීක අධ්‍යාපනය ලැබීමටයි. එහිදී අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් තරුෂා පළමු අවස්ථාවේදී විෂයන් 5 ක් හා සම්මාන 02 ක් ලබා ගත් අතර දෙවැනි වර විභාගයට පෙනී සිටිමින් ඇය විෂයන් 07 ක් සම්මාන 04 ක් ද සහිතව සමත් වී උසස් පෙළ හැදෑරීමේ වරම් හිමි කර ගත්තාය.
කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ තරුෂා විභාගයට මුහුණ දුන් පළමු අවස්ථාවේදී A සම්මාන සාමාර්ථයක් සහ C සම්මාන සාමාර්ථයක් ලැබූවද එක් විෂයක් අසමත්ව තිබුණි. උත්සාහය අත් නොහල තරුෂා දෙවැනි වරට ද උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර එහිදී ඇය විභාගය සමත් වෙමින් B සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සමාර්ථයක් (S) සහිත විභාගය සමත් වෙද්දී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලැබෙන අවස්ථාව යටතේ ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයට උසස් අධ්‍යාපන වරම් හිමි කර ගත්තාය.
තරුෂාගේ මේ ගමනට ඇයගේ එකම සොයුරිය වූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටින ඒෂනී කෞමදී හේවාපතිරණ (31) ගෙන් ආදරණීය සහයෝගයක් ලැබූ අතර කෞමදී ඉදිරි අධ්‍යාපන අවස්ථා සඳහා නිරතුරු දිරිගැන්වීමද තරුෂා විසින් සිදු කිරීම විශේෂත්වයකි.
මෙම ජයග්රහණයෙන් උදම් වූ තරුෂාගේ පියා වූ බන්දුල හේවාපතිරණ මහතා සතුටු කඳුළු සලමින් තම ඥාති පිරිස වෙත මෙම පණිවුඩය ලබා දෙද්දී නිවසට රොක් වූ ඥාතීහු තරුෂාගේ දෑත් තෑගිබෝග හා දහසින් බැඳි පියලිවලින් පුරවාලනු ලැබුවේ උසස් අධ්‍යාපනය පිළිබඳ තරුෂාගේ බලාපොරොත්තුවලට තවත් දිරියක් ලබා දෙමිනි. තරුෂා සමගම ඇයට උදව් කළ ආදරණීය මිතුරිය වූ සනුරිට ද රුහුණ විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලැබීම තරුෂාගේ ගමන් මග තවත් ශක්තිමත් කරන්නක් විය.
රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයට ඇතුළත් වන තරුෂාට එහිදී තවත් මිතුරු මිතුරියන් ගොන්නක් රැකවරණයට එක්වූයේ පෙර පතාගෙන ආ පරිදිය. තරුෂාගේ අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වූ පියා නිසි වයස එළඹීමට පෙර කල් තියා විශ්‍රාම ගෙන තරුෂා විශ්වවිද්‍යාලයට රැගෙන යාම සිදුකළ අතර විශ්වවිද්‍යාලය තුළදී ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලු සිසුන් තරුෂා දේශන ශාලා වෙත රැගෙන යාම මහත් ආසාවෙන් සිදු කරද්දී එය දෙමව්පියන්ට මහත් අස්වැසිල්ලක් විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන අතර තරුෂා positive life with tharu, පෙර පාසල් වැඩ පොත, තරු පාට ලෝකය, ආතතිය පාලනය, තරු ආට් තෙරපි සහ පෙර පාසල් ඉංග්‍රීසි වැඩ පොත ඇතුළු පොත් කිහිපයක්ම රචනා කොට වෙළෙඳපොළ වටිනාකමක් හිමි කරගෙන ඇති ඉන් ලැබෙන මුදල් ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවා ගැනීමට ද පියවර ගෙන ඇත. උපාධි ප්‍රදාන උත්සව දින ඇය අඳින ලද සාරිය නංගී පලඳින ලද පාවහන් යුගල තරුෂාගේ කැමැත්තෙන් ම මිලදීගෙන ඇත්තේ ඇය පොත් අලෙවි කොට උපයාගත් මුදලින් වීම විශේෂත්වයකි.
විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉහළ ප්‍රතිඵලයක් පෙන්වීම නිසා සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන්නට වරම් ලබන තරුෂාට සහකම්පනය පතුරන්නට අපූරු මිතුරියන් දෙදෙනකු මුණගැසුණා ය. ඒ තාරුකා හා පියුමි ය. තරුෂා දේශන ශාලා වෙත රැගෙන යාම, කෑම කැවීම, දේශන සටහන් සකස් කර ගැනීමට සහාය වීම, පියා පැමිණෙන තෙක් රැක බලා ගැනීම තාරුකා හා පියුමි මහත් කැපවීමෙන් කළාය. යම් හෙයකින් ඔවුන්ට එය මගහැරුනේ නම් වෙනත් ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් මහත් උනන්දුවෙන් තරුෂාට උදව් කළේ තම එකකුස උපන් සහෝදරියකට මෙනි. තාරුකා, පියුමි හා සනුරි විසින් තරුෂාට කළ උදව් උපකාර රුහුණ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කොට විශ්වවිද්‍යාල පද්ධතියටම "සහකම්පනය" කියාදුන් කදිම අවස්ථාවක් විය.
සියලු දෙනාගේ ආදරය මැද සිව් වසරක් පුරා අධ්‍යාපනය හැදෑරූ තරුෂා අවසන් විභාගයෙන් සමත්ව සමාජවිද්‍යා විශේෂවේදි උපාධිය හිමිකර ගත් අතර පසුගියදා පැවැති රුහුණ විශ්වවිද්‍යාලයීය 33 වන උපාධි ප්රදානෝත්සවය තරුෂා හේතුවෙන් මුළු රටේමත් ඉන් ඔබ්බටත් කතා බහට ලක් වූ අවස්ථාවක් බවට පත්ව තිබිණි.
ඒ අන් කිසිවක් නිසා නොව ශාරීරික දුබලතා කොතෙකුත් තිබුණ ද හිතේ හයියෙන් අධ්‍යාපනය කර උපාධිය ලබා උපාධි ප්රදානෝත්සවයේදී කිසිදු අයකුගේ රැකවරණයකින් තොරව තනිව වේදිකාවට ගොඩව උපාධි සහතිකය ගැනීමට පැමිණි තරුෂා ගේ ඒ දිරිය දැක සංවේදී වූ රුහුණ විශ්වවිද්‍යාල කුලපති අග්ගමහාපණ්ඩිත ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් සිය අසුනින් නැගිට තරුෂා එන දෙස බලා සිට දෑත් එක්කොට උපාධිය ලබාදීමේ අපූර්වතම අවස්ථාව නිසාය. එය මුළු රටේම ආදරය දිනා ගත් ලෝක අවධානයට ලක් වූ සුවිශේෂී අවස්ථාවක් විය.
තමන් මුහුණ දුන් එම සංවේදී අවස්ථාව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් මෙලෙස විස්තර කළහ.
"ඇත්තෙන්ම මා අසුනින් නැඟිට්ටෙ ඇගේ දිරියට, කැපකිරීමට ගෞරව කරන්නයි. ඇයට උදව්වට දෙදෙනකු හිටියා. නමුත් මම තනියමයි උපාධිය ගන්න යන්නේ, ඔයාලා එන්න එපා යැයි ඇය ඔවුන්ට කියලා තිබුණා. ඇයට ලියන්න අපහසුයි. ඇයගෙ හඬත් පැහැදිලි නැහැ. එය වැටහෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා රුහුණ සරසවිය ඇයගෙ වාචික පිළිතුරු වෙනත් කෙනකු ලවා ප්‍රශ්න පත්‍රවල ලියන්න අවසර දුන්නා.
එහෙමයි ඇය උපාධිය ලිව්වෙ. ඒ අතින් සරසවිය මනුෂ්‍යත්වය පිළිබඳ දුන් ආදර්ශය ඉතා ඉහළයි. සරසවිය ම පවුලක් හැටියට ඇයට උදව් කළා. කරුණාව දැක්වූවා''
උපාධිය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල සේවකයන් දෙදෙනකු තරුෂා රැගෙන වේදිකාව දෙසට පැමිණ ඇය වේදිකාවට ගොඩ කරන්න උත්සාහ ගනිද්දී තරුෂා දිරිය සිතින් යුතුව පවසා ඇත්තේ මට තනිව ගොස් උපාධිය ලබාගත යුතු බවයි. සේවකයන් ඊට අවස්ථාව දෙද්දී ඇය ඉතා අපහසුවෙන්වත් වේගවත් ගමනින් පැමිණ අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේගෙන් උපාධි සහතිකය ගෙන උන්වහන්සේගේ දෙපා නැමැද හැරී යන අවස්ථාවත් එය දකින හැමගේ නෙත් සිත් කඳුලින් තෙමාලූ අවස්ථාවක් විය.
තරුෂාගේ මේ මහා ශක්තිමත් බව පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාපීඨයේ සමාජවිද්‍යා මහාචාර්ය එන්. වී. ජී. ඒ. හේමන්ත කුමාර මෙලෙස පැවසුවේය.
"මේක මහා අමාරුවකින් ආ ගමනක්. මේ දරුවට විශ්වවිද්‍යාලයේදී උදව් කළ අය ගොඩක් හිටියා. ඊට ගැහැනු පිරිමි භේදයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඒ දරුවට උදව් කළ තවත් යහළුවන් දෙදෙනෙක් හිටියා ඒ අය තමයි තාරුකා සහ පියුමි. තරුෂාගේ අම්මයි තාත්තයි කරන සේවය හා සමානවම මේ දරුවෝ දෙන්නා තරුෂා වෙනුවෙන් කළා. කිසිම දෙයක් අපේක්ෂාවකින් තොරව තාරුකා සහ පියුමි කළ මේ සේවය අති විශිෂ්ට එකක්. විශ්වවිද්‍යාල පද්ධතියේ සහකම්පනය පෙන්වූ විශේෂිතම අවස්ථාවක් මේ. අලුත් පරම්පරාවට මෙවැනි දෙයක් දැකීමත් හරි වටිනවා. මෙය විශ්වවිද්‍යාල පද්ධතියටම ආදර්ශයක්."
තම දිරිය දියණියගේ මෙම ජයග්‍රහණය පිළිබඳ ඇයගේ පියා වූ බන්දුල හේවාපතිරණ මෙලෙස පැවැසුවේය.
"අපේ දුවගේ මේ ජයග්‍රහණය ගන්න ලොකු පිරිසක් ඇය සමග හිටියා. ඇයට වැදූ මවයි හැදූ මවයි දෙදෙනකු සිටීම මේ ගමනට දුන්නු ශක්තිය වචනයෙන් කියන්න බැරි තරම්. ඒ ඇයගේ අම්මා සහ මගේ අක්කා ඇගේ නැන්දායි. අපි නැතිවෙලාවට මගේ අක්කා තරුෂා දුව බලා ගත්තේ පුදුම උනන්දුවෙන්. තරුෂ ගැන විතරක් නෙවෙයි දෙවැනි දුව ගැනත් පුදුම ආදරෙන් බලනවා. ගෙදර එන වෙලාවට ඉන්නේ පාරේ මඟ බලාගෙන. ප්‍රමාද වුණොත් ඉස්සරහට ගිහිල්ලා හොයලා බලනවා. කෑම හදාගෙන මඟ බලන් ඉන්නවා. ඒකයි මම කිව්වේ තරුෂා දුවට අම්මල දෙන්නෙක් හිටියා කියලා. අම්මල දෙන්නයි, තාත්තයි, නංගියි, හිත හොඳ නෑදෑයොයි, යාළුවොයි, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුයි මේ ඔක්කොම මගේ දුවට හෙවනැල්ල වගේ ඉඳගෙන උදව් කළා. ඒවා ගැන කියන්න මට වචන නැහැ. ඒ තරම් සතුටුයි"
ජයග්රහණයෙන් පසු තරුෂා සතුටු සිතින් යුතුව පැවැසුවේ තමන් අනාගතයේ මනෝවිද්‍යා උපදේශකවරියක් ලෙස රටට සේවය කිරීමේ ආශාවෙන් පසුවන බවයි.


