තිබෙන විශ්වවිද්‍යාලත් පවත්වාගත නොහැකිව තවත් 50 ක්!
06 October 2026
තිබෙන විශ්වවිද්‍යාලත් පවත්වාගත නොහැකිව තවත් 50 ක්!
06 October 2026
ඊයේ (ඔක්තෝබර් 5 වැනිදා ) "අරුණ" පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියකින් අද මේ ලියවිල්ල අරඹමු. එය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මගින් පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුල් කරගත්තකි. විශ්වවිද්‍යාලයේ අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටියද එහි දැඩි ආචාර්ය හිඟයක් පවතින බැවින් විශ්වවිද්‍යාලයේ බරපතළ අසමබරතාවක් පවතින බව මෙහිදී ආචාර්යවරුන් විසින් පෙන්වා දී තිබේ.
5000 ක ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබුවද ඒ පිරිසට සෑහෙන තරමට විද්‍යාගාර, පර්යේෂණාගාර හා ශාලා පහසුකම් නොමැති බවද මෙහිදී හෙළි කෙරුණේය. මේ කරණකොට එකම දේශනය කිහිප වතාවක් පැවැත්වීමටද, එකම පර්යේෂණය කිහිප වතාවක් කිරීමටද ආචාර්යවරුන්ට සිදුවී ඇති බව මෙහිදී ප්‍රසිද්ධ වූ අපූරු කාරණාවකි. තවද මේ තත්ත්වය යටතේ රෑ බෝවනතුරු පංති පැවැත්වීමට සිදුවී ඇති බවද රටට දැනගන්නට ලැබුණේය.
එපමණක් නොවේ ශිෂ්‍ය ජනගහනය 5000 ක් වුවද ඉන් නේවාසික පහසුකම් ලබාදීමට හැකිවී තිබෙන්නේ සියයට 10 ක පමණ ප්‍රමාණයකට පමණක් හෙයින් ඉතිරි පිරිස පෞද්ගලික නේවාසිකාගාරවල නැවතී දුෂ්කර ජීවිතයක් ගතකරන බවද ආචාර්යවරු මෙහිදී පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාලයේ සිටින අධික ශිෂ්‍ය සංඛ්‍යාවට ගැළපෙන සනීපාරක්ෂක පහසුකම් හා ආපනශාලා පහසුකම් නොමැති බවද මෙහිදී දැනගන්නට ලැබුණු තවත් කාරණයකි.
එහෙත් මෙය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ හුදෙකලා ප්‍රශ්නයක් නොවේ. සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පොදු වූ දැන් කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) මගින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පෙන්වා දෙනු ලැබූ කාරණයකි. ඉන් නොනැවතී සංකේත වැඩවර්ජන පවා පවත්වමින් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරගැනීමට ඔවුන් උත්සාහ දරා තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍යයන්ගෙන් ඉතා වැඩිදෙනා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා කැපවීමෙන් වැඩකළ පිරිස්ය. වෙනින් කවුරුවත් නොව රටේ අග්‍රාමාත්‍යවරිය පවා 2020 දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රජාවට නායකත්වය දෙමින් විශ්වවිද්‍යාල ප්‍රශ්න වෙනුවෙන් කැපවුණු විශ්වවිද්‍යාල ආචාර්යවරියකි. එහෙත් මේ ආණ්ඩුව බලයට පත්වී හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යවරිය වීමෙන් පසුවද හැත්තෑහය අවුරුදු සාපයේ තිබුණු විශ්වවිද්‍යාල ප්‍රශ්නවල වෙනසක් සිදුවී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නකි.
විශ්වවිද්‍යාල ප්‍රජාව එදවස වීදි බැසි එක කාරණයක් වූයේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වැයකරන මුදල සියයට 6 ක් දක්වා ඉහළ නැංවීමය. එහි ප්‍රායෝගිකභාවය පිළිබඳ එදා පටන් ඇතැමුන් ප්‍රශ්න කර ඇති බවද සැබෑය. එහෙත් අද රට ආණ්ඩු කරන පිරිස් එදා සිටියේ එය කළ හැකි හා කළ යුතු දෙයක් හැටියට වුවද බලයට පත්වීමෙන් පසුව ඔවුන් ඒ ගැන කතා කරන්නේවත් නැතිවීමද සුවිශේෂය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින කුදු මහත් ප්‍රශ්න අතරින් මුල් තැනෙහි ලා සැලකෙන්නේ අ.පො.ස. (උසස් පෙළ) සමර්ථ වන්නන්ගෙන් සුළු ප්‍රතිශතයක් පමණක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමට හැකිවීමය. බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මෙහිදී කර ඇත්තේ විශ්වවිද්‍යාවල යටිතල පහසුකම් ගැන සැලකිල්ලකින් තොරව ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමය. මේ හේතුවෙන් අද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට ඇති හැකියාව සීමාසහිත වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටම පිළිගන්නට සිදුවී තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල නිසියාකාරව පවත්වාගෙන යෑමට නම් ඊට 10,000 ට වැඩි ආචාර්යවරුන් පිරිසක් අවශ්‍ය බව ගණන් බලා තිබේ. එහෙත් අද එහි සේවයේ සිටින්නේ ඉන් අඩක් පමණ වූ එනම් ගණනින් 5,000 කට නොවැඩි ආචාර්යවරුන් පිරිසකි. ආචාර්ය - ශිෂ්‍ය සමබරතාවය බිඳ වැටුණු කළ ඇතිවන අවාසනාවන්ත තත්ත්වය මෙහිලා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් කියවුණු දෙයින් තේරුම් ගත හැකිය.
තවද අද විශ්වවිද්‍යාලවල පවතින එකම ප්‍රශ්නය ලැබෙන අඩු වැටුප් හේතුවෙන් ආචාර්යවරුන් රට හැර යෑමෙන් ඇතිවී තිබෙන අසමබරතාව පමණක් නොවේ. ඊට අවශ්‍ය අරමුදල්, පර්යේෂණ පහසුකම් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්ද ඇත්තේ අවශ්‍ය තරමට නොව ඉන් අඩකටත් අඩු ප්‍රමාණයක් පමණි. ඒ සියල්ල එසේවී තිබියදී පසුගියදා ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල දෙදරුම් කා ගිය බෝම්බයක්ද පත්තු කළේය.
ඒ තවත් විශ්වවිද්‍යාල 50 ක් අලුතින් ඇති කරන බවට ප්‍රකාශයක් කිරීමෙනි. දැනට රටේ පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක වත් ආණ්ඩුවට පවත්වාගෙන යෑමට නොහැකිව තිබෙන බව ඉහත කෙටියෙන් කී කරුණුවලින්ද පැහැදිලිය. එබඳු තත්ත්වයක් යටතේ තවත් විශ්වවිද්‍යාල පනහක් ඇතිකිරීමට කතා කිරීමම අනුවණ, අදූරදර්ශී හා හාස්‍යෝත්පාදක ක්‍රියාවකි.

