ඇමරිකන්-ඉරාන යුද්ධය හා ඊශ්‍රායල් නූල් ඇදීම
21 July 2026
ඇමරිකන්-ඉරාන යුද්ධය හා ඊශ්‍රායල් නූල් ඇදීම
21 July 2026
මේ ලියන මොහොතේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට ස්පාඤ්ඤයයි. ඒ ඔවුන්ගේ කණ්ඩායම ඊයේ ලෝක පාපන්දු කුසලාන දිනාගත් නිසාය. ඒ අතර මේ කාලයේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු බවද නිසැකය. ඒ ලෝකයේ මහා බලවතා යැයි සිතාගෙන සිටින ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද දෙවැනි වරටත් "කඩේ යවන්නට" ඔහු සමර්ථ වී සිටින බැවිනි.
කිසිම සාධාරණ හේතුවක් නැතුව ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඉරානය ආක්‍රමණය කරන්නට ට්‍රම්ප් පොළඹවා ගත් ඔහු ඒ අවස්ථාවේ කී උදාන වාක්‍යය ලෝකයාට අමතක නොවන්නකි. ප්‍රහාරයෙන් ඉරාන අධ්‍යාත්මික නායකයා ඝාතනය වීමේ ප්‍රවෘත්තියත් සමග ඔහු කියා සිටියේ ඉරානය ආක්‍රමණය කිරීමට හතළිස් අවුරුද්දක් තිස්සේ තමන් තුළ තිබූ සිහිනය සැබෑ වූ වගය. ඔහු සිය භයානක සිහිනය සැබෑ කරගත්තේ මුළු ලෝකයම අවදානමකට පත්කරමින් වීම එහිදී වැදගත් වූයේ නැත.
ඇමරිකන් ප්‍රහාරයෙන් ඉරාන නායකයා මිය ගිය පසු එරට වැසියන් ආණ්ඩුවට විරුද්ධව නැගී සිටිනු ඇතැයිද එවිට එහි ඇමරිකන් හිතවාදී ආණ්ඩුවක් පිහිටවිය හැකි යැයිද නෙතන්යාහු දුන් "දිරච්ච ලණුව" ට්‍රම්ප් ගිල්ලේය. එහෙත් අනපේක්ෂිත පරිදි ඉරානය යටත් නොවී දිගටම සටන් කළ බැවින් අකැමැත්තෙන් වුවත් සාම ගිවිසුමක් ඇති කර ගැනීමට ඇමරිකන් ජනාධිපතිවරයාට අවසානයේ සිද්ධ විය. එහෙත් ඊශ්‍රායලය සාම ගිවිසුම කඩාකප්පල් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ඉරාන හිතවාදී ලෙබනනයට පහරදීම නතර කළේ නැත. එහිදී ඉරානය සාම ගිවිසුම කඩ කළ අතර ට්‍රම්ප් නැවතත් එරටට පහර දෙන්නට පටන් ගත්තේ ඊශ්‍රායලය ඊට එක්වීමට අවශ්‍ය නැතැයිද කියමිනි. ට්‍රම්ප් යළිත් වතාවක් නෙතන්යාහුගේ උගුලේ වැටුණේ එසේය.
සති කිහිපයකට පෙර ඇමරිකන් ජනාධිපතිවරයා තුන්වැනි පාර්ශ්වයක මාර්ගයෙන් ඉරානය සමග සාම සම්මුතියකට පැමිණුනේ යුද්දයේ බර දරාගත නොහැකිවීම නිසාය. යුද්ධයත් සමග ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු සෑම රටකම ජීවන වියදම වැඩි වූයේය. හැරත් යුද්ධායුද සඳහා විශාල ධනයක් වැය කරන්නට සිදුවී තිබුණු බවද රහසක් නොවේ. තවද ලෝකයේ කිසිම රටක් වෙනත් යුද අවස්ථාවලදී මෙන් ඇමරිකන් හමුදාවල ආධාරයට නොපැමිණීමද ට්‍රම්ප්ගේ බලාපොරොත්තු කඩ කළේය.
මේ සියලු කරුණු කාරණා නිසා එක්සත් ජනපදය සාම ගිවිසුමට එළඹුණද ඊශ්‍රායලය දිගින් දිගටම ඒ කඩාකප්පල් වන තැනට කටයුතු කළේය. ඊශ්‍රායලය වළක්වාලීමට කටයුතු කිරීම වෙනුවට ට්‍රම්ප් කළේ නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමය. මේ වතාවේ ඇමරිකන් හමුදා සිවිල් ඉලක්කවලටද දරුණු ප්‍රහාර එල්ල කරන බැවින් ඉරානයද සාම ගිවිසුමෙන් ඈත්වීමේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටී. එහෙත් ඊශ්‍රායල් අවශ්‍යතාවට යුද්ධයට පැටළුණු ඇමරිකන් ජනාධිපතිවරයාටද එය නොනවත්වා පවත්වාගෙන යෑම පහසු නැත.
තමන්ගේ යුද බලය ගැන ට්‍රම්ප් කොයිතරම් පුරසාරම් දෙඩූවද එරටේ ආයුධ ගබඩා හිස්වෙමින් පවතින බව යුද විශේෂඥයන්ගෙන් වසන් කරගැනීමට නොහැකිය. ඉරානයට එරෙහිව එල්ල කරන අඛණ්ඩ මිසයිල ප්‍රහාර නිසා එරට මිසයිල ගබඩාවලින් අඩක්ම අප්‍රේල් මාසය වන විටද හිස්ව තිබුණු බව ඔවුන් පෙන්වා දී තිබේ. ආයුධ හිඟයක් පිළිබඳ කිසිදු අවදානමක් නැති බව ට්‍රම්ප් ලෝකයා හමුවේ කියා සිටියද එරටට ආයුධ බලය අතින් පෙබරවාරි 28 වැනිදාට පෙර තිබූ තත්ත්වයට පැමිණීම සඳහා තවත් අවුරුදු 1-4 අතර කාලයක් ගතවනු ඇති බව යුද විශේෂඥයන්ගේ මතයයි. ඒ හේතුවෙන් ලෝකයේ සෑම අස්සකම අවුල් වියවුල්වලට මැදිහත් වන ඇමරිකන් ආණ්ඩුවට තවත් කාලයක් යන තුරු එබඳු ඇඟිලි ගැසීම් කිරීමේ අවකාශයක් නැතිව යනු ඇතැයිද කියනු ලැබේ. මේ වන විට යුද්ධය සඳහා වැයකර ඇති මුදලද ඩොලර් බිලියන සියයකට ආසන්නය.
පසුගියදා සාම සම්මුතිය බිඳ දැමීම පිළිබඳ ඇමරිකන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඊශ්‍රායලයට ප්‍රසිද්ධියේම චෝදනා කිරීමෙන් එක්සත් ජනපදය මුහුණ පා සිටින අර්බුදය එළිපහළියට ආවේය. සාම සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළ උප ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳ අප්‍රසාදයට පත්වීම ඉතා සාධාරණය. මේ ප්‍රකාශයත් සමගම නිකුත් වූ "ටයිම්" සඟරාව පෙන්වා දී තිබුණේ යුද විරෝධී ඇමරිකන් මහජන මතය වෙනස් කිරීම සඳහා ඊශ්‍රායල් ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරමින් සිටින බවය.
ඇමරිකන් උප ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම වටිනේ වුවත් ඇත්තෙන්ම මේ අවස්ථාවේ ඔහු විසින් කළ යුතුව ඇත්තේ සිය ප්‍රධානියාට සැබෑ චිත්‍රය පෙන්නුම් කරදීමය. ඒ නෙතන්යාහුගේ අවුරුදු හතළිහක සිහිනය සැබෑ කරදීම සඳහා ට්‍රම්ප් කරන වෑයමෙන් සිදුවනු ඇත්තේ මුළු ලෝකයටම භයානක සිහිනයක් දකින්නට සිදුවන බවය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කරුණු කාරණා කියා දෙන්නට කිසිවකුටත් හැකිවේද යන්න වෙනම කතාවකි.

