brand logo
logo
 රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට නඩු 3 ක්

රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට නඩු 3 ක්

20 March 2024

රුපියල් කෝටි 135 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3 ක් පවරා තිබේ.


අංක 255/86, කොරතොට, කඩුවෙල ලිපිනයේ පිහිටි රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගමට (Randenigala Distilleries Lanka Pvt Ltd) එරෙහිව වෙන් වෙන් වශයෙන් අදාළ නඩු 3 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එලෙස පවරා තිබුණි.

අංක බී 13052/09 යටතේ රුපියල් 90,78,56,288 ක් බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් එක් නඩුවක් ද අංක බී 13053/09 යටතේ රුපියල් 40,09,96,259 ක බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ද අදාළ සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පවරා තිබුණි.


අංක බී 13054/09 යටතේ රුපියල් 50,190,596 ක බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව තවත් නඩුවක් ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.


ඒ අනුව රුපියල් එකසිය තිස්පන් කෝටි අනූ ලක්ෂ හතලිස් තුන්දහස් එකසිය හතලිස් තුනක (1,35,90,43,143) බදු මුදල් නොගෙවා පැහැර හරින ලදැයි රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩු 3 පවරා තිබුණි.

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ.


රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

More News..