Best News Website award
brand logo
logo
 ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ඇරඹේ

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ඇරඹේ

28 November 2026


ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සැමරුම් උළෙල සහ 11 වන මහ සභාවේ දෙවන විධායක කමිටු සභාවාරය අද (28) ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබේ.


නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සහ සංවත්සර සැමරුම් උළෙල අද සිට ලබන දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.


මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ඒ සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයින් වෙතද විශේෂ ආරාධනා සිදුකර තිබේ.


ලොව පුරා ථේරවාද, මහායාන සහ වජ්‍රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවකින් භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා 5,000කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ 500 නමක්ද ඊට එක්වීමට නියමිතය.


මීට අමතරව දෙස් විදෙස් ගිහි නියෝජිතයින් 800කට ආසන්න පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.


1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ අවසන් සභාවාරය 2024 වසරේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පවත්වා තිබේ.


මෙවර 60 වන සංවත්සර සැමරුමට සමගාමීව ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආගමික පූජා වැඩසටහනක් නොවැම්බර් 30 වැනිදා පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමටද සැලසුම් කර ඇත.


එමෙන්ම දෙසැම්බර් 01 වැනිදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වතාවත් මාලාවක් පැවැත්වීමටද සංවිධායකයින් පියවර ගෙන තිබේ.

 

More News..