"පාපන්දු සභාපතිවරයා චෝදනාවලින් නිදොස්කොට නිදහස් වී නෑ" - සුනිල් සෙනවීර
08 May 2026 | සසිත සේනානායක / දර්ශාන් කානිල් - මොරටුව
"පාපන්දු සභාපතිවරයා චෝදනාවලින් නිදොස්කොට නිදහස් වී නෑ" - සුනිල් සෙනවීර
08 May 2026 | සසිත සේනානායක / දර්ශාන් කානිල් - මොරටුව
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමෙහි කෙතරම් ඉහළ ගියද, එහි පසු පෙළ සංවර්ධනය කිරීමේ සැලසුමක් පාපන්දු සම්මේලනයට නොමැති නම් මේ සියල්ල තාවකාලික ජයග්‍රහණ වනු ඇතැයි, හිටපු පාපන්දු සම්මේලන මහලේකම්වරයෙකු මෙන්ම විනිසුරු/උපදේශක සහ තරග කොමසාරිස්වරයෙකු වන සුනිල් සේනවීර පවසයි. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ වත්මන් බිඳවැටීම සහ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පෙරේදා (6 වැනිදා) කොළඹදී පැවැති අවස්ථාවේ ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම දේශීය පාපන්දුවේ වත්මන් තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකා පාපන්දුවේ පරිහානිය මෙන්ම දූෂණයෙන් තොර කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ ලෙස මෙම මාධ්‍ය හමුවේදී සාකච්ඡා කෙරිණි.
පාපන්දු සභාපතිවරයා වෙත එල්ල වී ඇති දූෂණ චෝදනා පිළිබඳ අදහස් දැක්වූ හිටපු මහලේකම්වරයා, "මුදල් කළමනාකරුවරයකු මෙතෙක් පත් කර නැති නැතිව පාපන්දු සම්මේලනය කොහොමද විගණනයක් කරන්නේ. මේ රට තුළ වංචා දූෂණ සම්බන්ධව හොයල බලන්න. මේවා ඇත්තද බොරුද කියලා බලන්න. තුන්වෙනි පාර්ශ්වවලට මේ සඳහා මැදිහත් වෙන්න බැහැ. මගේ ළඟ ලියකියවිලි තියෙන නිසා මම අල්ලස් හෝ දූෂණ එකකයට ගිහිල්ලා පැමිණිලි කළා. මොකද ක්‍රීඩා අමාත්‍යංශයේ තිබෙන කමිටු 3ක් මෙතුමාට විරුද්ධව නඩු දාන්න කියලා තියෙනවා. පාපන්දු 3500ක් සම්බන්ධයෙන් මුදල් ගෙවා තිබෙනවා. මුදල් ගෙවපු කොම්පැනියකුත් නැහැ. බෝලත් නැහැ. ඉතින් මේවා දූෂණ වංචා නෙවෙයිද? මේ එල්ල වන චෝදනා ගැන පිළිබඳව ක්‍රීඩා ඇමැතිතුමා නිහඬ පිළිවෙතක් අනුක්‍රමණය කිරීම ගැන මම කනගාටු වෙනවා" යැයි පැවැසීය.
"සම්මේලනය ජාතික කණ්ඩායම පමණයි පෝෂණය කරන්නේ. එතනින් එහාට කිසිම දෙයක් නැහැ. ජාතික කණ්ඩායම මැච් එකක් ගහලා මාසයක් එකහාමාරක් දෙකක් වෙනවා. ඊට පස්සේ මොනාද කරන්නේ? අපි නිදි. කිසිම සංවර්ධනයක් නැහැ. අපි දන්නව පාපන්දු සම්මේලනයෙන් පඩි ගන්න කීප දෙනෙක් ඉන්නවා. එයාලාට රාජකාරි කරන්න මොනාද පාපන්දු සම්මේලනයෙන් තියෙන නීති රීති. තාක්ෂණික දෙපාර්තමේන්තු තියෙනවා. ඒව තියෙන්නේ නමට විතරයි. මේ අවුරුද්ද පුරාවටම සෙල්ලම් කරන්නේ ජාතික මැච් විතරයි. අන්තිමට චැම්පියන්ස් ලීග් ගැහුවා. ඒකෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර ක්ලබ් වලට තවමත් සල්ලි දීල නැහැ කියන චෝදනාව තියෙනවා. මට මතකයි සභාපතිතුමා කියනවා අපි ගමට පාපන්දු ගෙනියනවා කියලා. ගමේ තියෙන පාපන්දු කණ්ඩායම් ඒ සියල්ල කොළඹට එන්න ඕනෑ ක්‍රිඩාකරන්න. අපිට ක්‍රීඩාංගණ ඕනේ තරම් තියෙනවා ක්‍රීඩා කරන්න. ඒවා නිසි ආකාරයෙන් නඩත්තු කර භාවිත කළ යුතුයි."
"ඒ වගේම තමයි පාපන්දු සම්මේලනයේ මුල්‍ය කළමනාකරුවෙක් නැහැ. මුල්‍ය කළමනාකරුවෙක් නැති ලෝකෙ තියෙන එකම සම්මේලනය මේක. හිටපු මුල්‍ය කළමනාකරුවෙක් රජයේ කමිටුවකට දැනුවත් කරලා තියෙනවා සභාපති හිතුමනාපෙට මුදල් භාවිත කරනවා කියලා" යනුවෙන්ද ඔහු පැවැසීය.
එසේම ජාතික කණ්ඩායමෙන් පමණක් පාපන්දු ක්‍රීඩාව මැනිය නොහැකි බව පැවසූ ඔහු, දේශීය ක්‍රීඩා සමාජ තුළින් දේශිය පාපන්දුවේ දෙවැනි පෙළක් නිර්මාණය වීම කිසිසේත් සිදු නොවන බව ප්‍රකාශ කර සිටියේය. වත්මන් ජාතික කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන්ද අදාළ තරගයට පමණක් පැමිණ නැවත සිය රට බලා යන බවත්, ඔවුන් කිසි ආකාරයකින් දේශීය ක්‍රීඩකයන් සමග සංචිත ගතව පුහුණුවීම් නොකිරීම ගැටලුවක් බවත් හෙතෙම පැවැසීය.
මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සිට අනෙකුත් පාලන තන්ත්‍රයේ සියලු දෙනා මැදිහත් විය යුතු බවද ඔහුගේ අදහස විය. එසේම මේ වන විට සභාපතිවරයා වෙත එල්ල වී ඇති පාපන්දු මිලදී ගැනීම් සහ සිංගප්පූරු තරගාවලියකදී සිදුවූ රූපවාහිනී අයිතිය මිලදීගැනීමේ අක්‍රමිකතා ඇතුළු මූල්‍ය චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස්වී ඇති බව පැවැසුවද, එය එසේ නොවන බවත්, එසේවීමට නම් සභාපතිවරයා තමන්ට එරෙහිව ඇති චෝදනා පරීක්ෂණයට ඉඩදී ඉන් අනතුරුව ඒවායින් නිදොස් කොට නිදහස් විය යුතු බවත් සුනිල් සේනවීර වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු ජාතික කණ්ඩායම් ක්‍රීඩකයකු වන නෙයිනර් මොහොමඩ් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

