brand logo
logo
 හයිවේ සීට් බෙල්ට් නීතියෙන් නිදහස් වෙන අය මෙන්න

හයිවේ සීට් බෙල්ට් නීතියෙන් නිදහස් වෙන අය මෙන්න

23 September 2026


අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කළද එම නීතියෙන් නිදහස් කාණ්ඩ දෙකක් පිළිබඳව පොලීසියෙන් අනාවරණය කරයි.


රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා පවසා සිටියේ, 2025 ජූනි මස 25 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව වයස අවුරුදු 12ට අඩු දරුවන්, ආසන පටි පැලඳීමට අපහසුතා ඇති බවට වෛද්‍ය නිර්දේශ ඇති අය සහ උස සෙන්ටිමීටර් 135ට අඩු පුද්ගලයින් මෙලෙස අධිවේගයේ ආසන පටි පැලඳීමේ නීතියෙන් නිදහස් වන බවය.


එසේ වුවද අධිවේගයේ ගමන් ගන්නා අයගේ ආරක්ෂාව ඔවුන් සතු කාරණයක් වන බැවින් ආරක්ෂාව වෙනුවෙන් සෑම විටම එම පුද්ගලයින් පවා ලැප් බෙල්ට් එකක් පැලඳීමට වගබලා ගත යුතු බවද සඳහන් කළේය.


“2025 ජූනි මස 25 වැනි දින ගැසට් එකේ පැහැදිලිව තියෙනවා කාවද සීට් බෙල්ට් පැලඳීමෙන් නිදහස් කරලා තියෙන්නේ කියලා. ඒකේ පැහැදිලිව කියනවා වයස අවුරුදු 12ට අඩු ළමයි සීට් බෙල්ට් පැලඳීමෙන් නිදහස් කරලා තියෙනවා. ඊට අමතර‍ව වෛද්‍ය නිර්දේශ මත ආසන පටි පැලඳීම යෝග්‍ය නොවන බව සඳහන් කරනවා නම්, ඒ අයත් එය පැලඳීමෙන් නිදහස් කරලා තියෙනවා.


සාමාන්‍යෙයන් උපලේඛනයට අනුව වෛද්‍ය වාර්තාවක් අරන් එන්න කියලා කියනවා. නමුත් අපිට බැලූ බැල්මට පේනවා නේ අසනීපයි නම්. ඒ වගේම උස සෙන්ටිමීටර් 135ට අඩු අයත් මේක පලඳින්න අවශ්‍ය නෑ. අඩිවලින් ගත්තොත් 4 හමාරට අඩු අයත් මේකෙන් නිදහස් කරලා තියෙනවා.


අවුරුදු 12ට අඩු ළමයි සහ උස අඩු අය ඇයි මේ නිදහස් කරලා තියෙන්නේ. එහෙම කෙනෙක් සීට් බෙල්ට් එකක් දාගෙන ගියොත් බෙල්ට් එක එන්නේ බෙල්ල හරහා. උස කෙනෙක් දැම්මොත් යන්නේ කඳ හරහා. බරපතළ අනතුරක් වුණාම කෙලින්ම ගිහින් එතකොට බෙල්ල හිරවෙන්නේ. ඒකේ තියෙන පසුබිම ඒකයි. ඒ නිසා ඒ අයව නිදහස් කළේ. ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ සීට් බෙල්ට් පලඳින්න එපා කියන කාරණය. එහෙම අයට ලැප් බෙල්ට් එකක් දාගන්න පුළුවන්. බෙල්ට් එකක් පලඳින්න බැහැ කියලා දෙයක් නෑ. අවශ්‍ය අය පලඳින්න පුළුවන්. ඒ නිසා පිටිපස්සේ යන ගාන වැදගත් නෑ හැමකෙනාම ආසන පටි පලඳින්න ඕනේ.


ගොඩක් අය අහලා තිබුණා ඒ අයගේ ජීවිත ජීවිත නෙමෙයි ද කියලා. කුඩා ළමයෙක් අරන් යද්දි ඒ ළමයා ආරක්ෂිතව අරන් යන්න දෙමාපියන් දැනගන්න ඕනේ. ආරක්ෂාව කියන කාරණය එළියේ ඉන්න පොලිස් නිලධාරියාටවත්, වෙන කෙනෙක්ටවත් නෙමෙයි තමන් විසින් ඒ ආරක්ෂාව කියන කාරණය තහවුරු කරගන්න.”


මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ අධිවේගයේ ගමන් ගන්නා වාහන අතර පරතරය ඉතා වැදගත් කාරණයක් බවත් සෑම විටම එය රියදුරන් විසින් ඔළුවේ තබා ගත යුතු අතර, මීටර් 80ක පමණ පරතරයක් තබා ගන්නා ලෙස පැවසුවද වැසි දිනකදී නම් එය මීටර් 100ක පමණ වුවත් ගැටලුවක් නොවන බවද සේනාධීර මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.


එපමණක් නොව බොහෝවිට අධිවේගයේ වම්පස මංතීරුවේ වාහන ධාවනය කළ යුතු අතර, වාහනයක් ඉස්සර කිරීමේ දී දකුණු පස මංතීරුව භාවිත කළ යුතු බවද සඳහන් කර සිටි මහතා, අධිවේගයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සෙමින් ගමන් කරන වාහන ගැනද ඉදිරියේ දී සොයා බැලීමට නියමිත බව සේනාධීර මහතා පැවසීය.


ඒ අනුව අධිවේගයේ වාහන ධාවනයට අවම වේග සීමාවක් පැනවීම පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බවද පැවසු රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා, අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරන්නේ නම් පොලීසියේ 070 47 55 600 යන වට්ස්ඇප් දුරකථන අංකයට වීඩියෝ දර්ශනයක් යොමු කළ හැකි බවද සඳහන් කළේය.

 

More News..