රේගුව රඳවා ගත් වාහන 437න් බහුතරයක් දිරාපත් වෙලා
30 August 2026
රේගුව රඳවා ගත් වාහන 437න් බහුතරයක් දිරාපත් වෙලා
30 August 2026
රේගුව විසින් වසර 8ක් පුරාවට සිය භාරයේ තබා ගෙන තිබූ වාහන බහුතරයක් මේ වන විට භාවිතයට ගත නොහැකිව විනාශ වී ඇතැයි විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ.
පසුගිය 2025 වසරේ රේගු වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් මේ බව හෙළි කර ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ මට්ටක්කුලියේ සහ රුහුණුපුර වරාය භූමියේ රඳවා තිබූ වාහන රැසක් මෙලෙස දිරාපත්ව විනාශ වී ඇති බවය.
ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකින් ලබා ගත් ඉඩමක රේගු භාරයට ගත් වාහන 329ක් සහ රුහුණුපුර වරාය භූමියේ තවත් වාහන 108ක් රඳවා තිබූ බවත් මෙම වාහනවලින් බහුතරයක්ම අංගනවල ගාල් කර තැබීම හේතුවෙන් මේ වන විට දිරාපත්ව ධාවනයට නුසුදුසු තත්ත්වයටම පැමිණ ඇති බව අදාළ විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් අදාළ වාහන වෙන්දේසි කිරීමෙන් පවා සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් රේගුව විසින් රේගු ආඥා පනතෙ109 වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති ව ඇති බවත් විගණන වාර්තාව අනාවරණය කර ඇත.
මේ අතර ආනයනික වාහන 5කට අදාළව අපනයන රේගු සටහන්කරයේ ඇතුළත්ව තිබූ CFI වටිනාකමට වඩා අඩු වටිනාකමකට සකස් කරන ලද ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් මුළු වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 97,510ක් අඩුවෙන් ප්‍රකාශ කර වාහන රේගුවෙන් නිශ්කාෂණය කර ගෙන ඇති බවද රේගු වාර්තාව පෙන්වා දී තිබේ.
විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ අදාළ වාහන 5 අපනයන රේගු සටහන්කරයේ ඇතුළත් තිබූ CIF වටිනාකම සැලකිල්ලට ගත් විට ආසන්න වශයෙන් රුපියල් 16,200,813ක් බදු පදනමට ඇතුළත් වී නොතිබීම හේතුවෙන් රජයට රුපියල් 26,701,747ක බදු ප්‍රමාණයක් අහිමිව ගොස් ඇති බවය.
තවද ජපානයේ වෙන්දේසිවල විකිණී ඇති මෙරටට වැඩියෙන්ම ගෙන්වා ඇති වාහන වර්ග 4කට අදාළ මිල ගණන් පරීක්ෂාවේදී 2025 වර්ෂය තුළ ආනයනය කර ඇති වාහන නියැඳියකට ඉතා ආසන්න කාලයක් තුළ වාහන වෙන්දේසියේ විකිණී ඇති මිල ගණන් සැලකිල්ලට ගත් විට ආනයනකරුවන් විසින් එම වාහන අඩු මිල ගණන් යටතේ රේගුවෙන් නිෂ්කාශනය කර ගෙන ඇති බවත් අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ හේතුවෙන් නියැදි පරීක්ෂාවට ලක්වූ එවැනි වාහන 29ක් නිෂ්කාශනයේදි ආසන්න වශයෙන් රුපියල් 88,758,285ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බවත් අදාළ විගණන වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

