මාදුරුඔයේදී පැවති ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය නිමාවට
27 November 2026
මාදුරුඔයේදී පැවති ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය නිමාවට
27 November 2026
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන 'මිත්‍ර ශක්ති – XII' යුද අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්ව තිබේ.
පසුගිය නොවැම්බර් 13 වැනි දින සිට ඊයේ (26) දක්වා මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී මෙම යුද අභ්‍යාසය පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකුද, ඉන්දීය යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකුද එක්ව සිටියහ.
අභ්‍යාස පාලන හා සහායක අංශයන් ද ඇතුළුව 650කට අධික භට පිරිසක් මෙම වැඩසටහනට දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඊට සිය දායකත්වය ලබා දී ඇත.
මෙම අභ්‍යාසයේදී බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය ඒකාබද්ධ කිරීම, නගරබද හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහරදීමේ මෙහෙයුම්, යුද රථ පෙළවල ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජන සාමය ආරක්ෂා කිරීමේ මෙහෙයුම් ඇතුළු විවිධ උපක්රමික පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරිණි. ඊට අමතරව, විශේෂ බළකා පුහුණු පහසුකම් නිරීක්ෂණය කිරීම, සටන් පුහුණු උපකරණ භාවිතය සහ විවිධ මෙහෙයුම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රායෝගික පුහුණුවීම් ද මීට ඇතුළත් විය.
අභ්‍යාසයේ අවසන් ප්‍රායෝගික අදියර වන ‘Assault on Fortified Village’ නිදර්ශනය පසුගිය 25 වැනි දින මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න මහතා සහභාගී වූ අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශක ඇතුළු ආරාධිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
'මිත්‍ර ශක්ති – XII' ඒකාබද්ධ යුද අභ්‍යාසය හරහා දෙරටේ යුද හමුදාවන් අතර ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව, වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරුව මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වූ බව යුද හමුදාව පවසයි. එමෙන්ම දෙරට අතර පවතින දිගුකාලීන හමුදා මිත්‍රත්වය සහ කලාපීය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් වන කැපවීම ද මෙමඟින් යළිත් තහවුරු වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.


