brand logo
logo
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්

22 September 2026


2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාරිභෝගිකයින්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ ඉල්ලීමක් කරයි. ඒ, පරිසරය සුරැකීමේ අරමුණින් පොත් රැගෙන යාම සඳහා නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑගයක් රැගෙන එන ලෙසයි.


පසුගිය වසරවල පැවැති පොත් ප්‍රදර්ශනවලදී ජනතාව විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් (සිලි සිලි මලු) භාවිත කර ඇති බව නිරීක්ෂණය වීම මෙම ඉල්ලීමට හේතු වී ඇත.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නිකුත් කළ, 2025 ඔක්තෝබර් 01 වැනි දිනැති අංක 2456/41 දරන ගැසට් නිවේදනයට අනුව අතලු සහිත 'සිලි සිලි මලු' කිසිදු පාරිභෝගිකයෙකුට නොමිලේ ලබා දීම නීතියෙන් තහනම් වේ. එම බෑග් මුදලට අලෙවි කරන්නේ නම්, අය කරන මුදල බිල්පතෙහි පැහැදිලිව සඳහන් කළ යුතුය. තනි භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් මඟින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම මෙම නීතිවල ප්‍රධාන අරමුණයි.


මීට අමතරව, පහත සඳහන් තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන භාවිතය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම රට තුළ නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.


තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන


තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි


පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා සකසන ලද ආහාර දවටන (Lunch Sheets)


එබැවින්, පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ ඇති ආහාර අලෙවිසල්වලදී ද මෙම තහනම් ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිසිසේත්ම භාවිත නොකිරීමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබේ.


සැප්තැම්බර් 25 වන දින ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර, වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන "නුවණින් කියවමු - නුවණින් රැගෙන යමු" යන තේමාව යටතේ පැවැත්වේ.

 

More News..