කිරිපිටි සමග ඇල්ලූ සුරූපී තරුණිය උසාවියේදී පනී
14 August 2026 | •ඉෂාර රත්නකාර
කිරිපිටි සමග ඇල්ලූ සුරූපී තරුණිය උසාවියේදී පනී
14 August 2026 | •ඉෂාර රත්නකාර
වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (13 වැනිදා) පෙරවරුවේ රැගෙන ආ සුරූපී තරුණියක් පලා ගොස් තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 6 අධිකරණ ශාලාව වෙත රැගෙන විත් තිබියදී අදාළ නඩු කටයුතු ආරම්භ වීමට පෙර සැකකාරිය පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ.
එම සැකකාරියට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වැලිකඩ පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අදාළ සැකකාරිය අධිකරණයෙන් පලාගොස් ඇති බව දන්වා තිබේ. එම සැකකාරිය කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකාරිය සමග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනකු මෙම මස 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකාරිය, අනෙකුත් සැකකරුවන් දෙදෙනා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් පරික්ෂා කර ඇති අතර එහිදී ඔවුන් සන්තකයේ තිබී කිරිපිටි වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සොයාගෙන තිබේ.
වෙළෙඳසලකින් එම භාණ්ඩ සොරාගෙන සැකකරුවන් පලායන බවට පොලිසියට සැකසිතී, ඔවුන් පරික්ෂා කර තිබේ. එහිදී සැකකාරියගේ සහ එක් සැකකරුවකුගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි හැඳුනුම්පතක් පවා නොතිබීම හේතුවෙන් ඔවුන් තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කර තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරිය ඔවුන්ට එරෙහි නඩුව කැඳවීමට පෙර පොලිස් අත්අඩංගුවෙන් මිදී අධිකරණයෙන් පලාගොස් තිබේ.
අදාළ නඩුව වෙනුවෙන් නීතිඥ නාලක සිල්වා පෙනී සිටියේය.

