බහාලුම් පරික්ෂාව පමාවෙන් වියළි මිරිස් ආනයනය නවතී
23 October 2026 | •සාලිය කුමාර ගුණසේකර
බහාලුම් පරික්ෂාව පමාවෙන් වියළි මිරිස් ආනයනය නවතී
23 October 2026 | •සාලිය කුමාර ගුණසේකර
ආනයනික මිරිස් බහාලුම් පරීක්ෂාවේදි දිගින් දිගටම සිදුවන ප්රමාදයන් සහ තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් මිරිස් ආනයනය ඉදිරියේදී සම්පූර්ණයෙන් නතර කිරීමට සිදුවන බව ආනයනකරුවෝ අනතුරු අගවති.
ආනයනික මිරිස් තොග සහිත බහාලුම් පරීක්ෂා කිරීම දිගින් දිගටම ප්රමාදවීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බවද ආනයනකරුවෝ කියා සිටිති.
මෙම ගැටලුව අනෙකුත් ආනයනික කුළු බඩු වර්ග සම්බන්ධයෙන්ද පවතින බව ඔවුහු පවසා සිටිති.
ආනයනික මිරිස්වලට අදාළ රසායනාගාර පරීක්ෂණ කටයුතු ශ්රී ලංකා ප්රමිති ආයතනයට (SLSI) පවරන ලද නමුත්, අවසාන නිෂ්කාශනය පාලනය කරනු ලබන්නේ සෞඛ්ය අමාත්යාංශයේ ආහාර පරීක්ෂණ අංශය බවද ආනයනකරුවෝ පවසති.
මෙහිදී නිලධාරීන්ගෙන් සිදුවන ප්රමාදයන් වළක්වා ගැනීමට අදාළව ආනයනික වියළි මිරිස්, කුළු බඩු ආදිය පරීක්ෂා කිරීමේ සහ මුදා හැරීමේ ක්රියාවලිය තනි ඒකාබද්ධ අධිකාරියක් විසින් හැසිරවිය යුතු බවට ආනයනකරුවෝ යෝජනා කරති.
මූලික නැව්ගත කිරීම් 65කින් බහලුම් 40කට වැඩි ප්රමාණයක් පරීක්ෂා කිරීම ප්රමාදවීම නිසා මාස දෙකහමාරකට අධික කාලයක් රේගුවේ සිරවී තිබෙන බවත් එක් බහලුමක් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 17ක් පමණ ආයෝජනය කර ඇති බැවින් තමන් දැඩි මූල්ය අර්බුදයකට පත්ව සිටින බවද ආනයනකරුවෝ කියා සිටිති.
ආනයනය කරනු ලබන වියළි මිරිස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීම දිගින් දිගටම ප්රමාදවීම නිසා මෙරට තුළ මිරිස් කුඩු නිෂ්පාදන කර්මාන්තයේ නිරත ව්යාපාරිකයන්ටද අමු ද්රව්ය නොමැතිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවන බවද ආනයනකරුවෝ සඳහන් කරති. මේ නිසා මිරිස් කුඩු, කුළු බඩු ආදියෙහි මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඔවුහු අනතුරු අඟවති.
එමෙන්ම, දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආනයනික වියළි මිරිස්වලට අදාළ දැනට පවතින සියයට 12 ක තෙතමන සීමාව සියයට 13 ක් දක්වා සංශෝධනය වියයුතු බවද ඔවුහු කියා සිටිති. මෙම ගැටලුව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන කුළු බඩුවලටද අදාළ බවත්, මේ සම්බන්ධව ඉන්දීය අපනයනකරුවන්ට සහ ඉන්දියාවේ කුළුබඩු මණ්ඩලයට (Spices Board of India) යොමුකර තිබෙන බවද දේශීය ආනයනකරුවෝ කියා සිටිති.

