brand logo
logo
වැස්ස 28 වනදා තෙක්

වැස්ස 28 වනදා තෙක්

26 October 2026


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රියව පවතින "ඔර්නබ්" සුළි කුණාටුවෙන් මෙරටට සෘජු බලපෑම් නොමැති වුවද, එහි වක්‍ර බලපෑම් දිගින් දිගටම පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසයි.


"ඔර්නබ්" සුළි කුණාටුව සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.


ඊයේ (25) සහ අද (26) දිනවල පැවති තද වැසි තත්ත්වය හෙට (27) වන විට තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව ඒ මහතා පවසයි.


මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් ප්‍රබල, ඉතා ප්‍රබල සහ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමත් සමඟ, වර්ෂාපතනයේ දැඩි බලපෑම දිවයිනේ නිරිතදිග කොටසට එල්ල වන අතර ඒ අනුව දකුණු, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ වයඹ පළාතේ සමහර ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරෙන අතර, සෙසු ප්‍රදේශවලටද වැසි තත්ත්වයන් පවතිනු ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.


ඊයේ සහ අද දිනවලට වඩා හෙට දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් තිබුණද, තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.


එළැඹෙන 28 වන දින සවස වන විට මෙම සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට ඇතුළු වීමට නියමිත අතර, ඒ සමඟම මෙරටට ඇති බලපෑමද ක්‍රමයෙන් පහව යනු ඇත.

 

More News..