අපරාධ කල්ලිවල අත්බෝම්බ ප්රහාරයන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
12 September 2026
අපරාධ කල්ලිවල අත්බෝම්බ ප්රහාරයන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
12 September 2026
දෙහිවල නිවසකට ඊයේ (11) අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය පවසයි.
එහිදී අනාවරණවී ඇත්තේ, පාතාල කල්ලි අතර ගැටුම්වලදී අත් බෝම්බ භාවිත කිරීමේ වැඩි ප්රවණතාවක් පවතින බවය.
මේ අතර දෙහිවල අත්බෝම්බ ප්රහාරයෙන් නිවෙස් හිමියාගේ පාදයකට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් එම පාදය ඉවත් කිරීමට පියවරගත් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයෙන් දරුවන් දෙදෙනෙකු දිවි අහිමි විය.
ඔවුන්ගේ පියා ද පාදයකට බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර සිදුව තිබූ තුවාල හේතුවෙන් එම පාදය ඉවත්කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.
සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම අත්බෝම්බ ප්රහාරයට හේතුවී ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව බඩෝවිට අසංක නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයෙන් පළිගැනීමට කුඩු අවිශ්ක නමැත්තාගේ පාර්ශ්වය ප්රහාරය එල්ල කර තිබූ අතර එය වැරදි නිවසක් ඉලක්ක කර එල්ල කර ඇති බව ද සඳහන්ය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික හා ඔහුගේ සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය.
දරුවන් දෙදෙනාගේ වියෝව පිළිබඳව ඔවුන් අධ්යාපනය හැදෑරූ දෙහිවල ශ්රාස්තානන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු ෆේස්බුක්හි සංවේදී සටහනක් තබා ඇත.
"කුඩා කාමරයක සියලු අවශ්යතා සපුරාගනිමින් තම පියාගේ මවට එම කාමරයේම තබා උපස්ථාන කිරීම නොරිස්සූ මව, ඔවුන් හැරදා වෙනතක් බලාගත් කල, දරුවන් දෙදෙනා රැකබලාගනිමින්, ත්රිවිලර් ගාස්තු සොයා ඇවිත් බත් පාර්සල කා දරුවන් දෙදෙනා ඉතා යහපත්ව සැදූ ඔහුට හා රටට වටිනා අහිංසක දරුවන් දෙදෙනෙකු අහිමි කර ඇත.
අයියා පාසල ඇරී එනතුරු, පුංචි පන්තිය ඉවර වූ කුඩා පුතු බුදු මැදුර අසල වාඩිවී කල්ගෙවූ අයුරු සිහිපත්වේ.මතු අකල් මරණයකට ලක්නොවී සංසාරෙන් එතෙරවීමට ලැබේවායි පතමි!"
මියගිය දරුවන්ගේ මෘතදේහ අද රාත්රියේ ඔවුන්ගේ ඥාති නිවසක් වෙත රැගෙන ඒමට නියමිතය.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් සිදුකෙරෙන විමර්ශනවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය සඳහන් කරයි.
එහිදී අනාවරණවී ඇත්තේ, පසුගිය කාලයේදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මත්ද්රව්ය තොගයක් සමග අත්බෝම්බ ප්රමාණයක්ද මෙරට අපරාධ කල්ලි වෙත ලැබී ඇති බවය.
මේ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

