වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක්
15 September 2026
වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක්
15 September 2026
2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ජාතික ගිණුම් ඇස්තමේන්තුවලට අනුව, අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ මෙම ආර්ථික වර්ධනය වාර්තා වී ඇත.
2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක ආර්ථික වර්ධනයක් වාර්තා වී තිබූ අතර, ඒ අනුව දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා පහළ ගොස් තිබේ.
දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර, සේවා අංශය සියයට 2.7කින් වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත්, කෘෂිකාර්මික අංශයේ සියයට 2.3ක පසුබෑමක් වාර්තා වී ඇත.
කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා පතල් හා කැණීම් කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ විදුලි හා බලශක්ති සැපයුම් ක්ෂේත්‍රවල වර්ධනය ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
සේවා අංශයේ තොරතුරු තාක්ෂණ සේවා සියයට 10කින්, රක්ෂණ සේවා සියයට 8කින් සහ මූල්‍ය සේවා සියයට 7.7කින් වර්ධනය වී තිබේ.
මේ අතර, කෘෂිකාර්මික අංශයේ පසුබෑම සඳහා මිරිදිය ධීවර කටයුතු සහ වී වගාවේ අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2026 දෙවන කාර්තුවේදී පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 8,254,176ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 11.3ක වර්ධනයකි.
මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය සහ බොරතෙල් සැපයුමේ අවිනිශ්චිතතාව හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ යම් මන්දගාමීත්වයක් පැවතියද, ආනයන පරිමාවන්හි වර්ධනය හේතුවෙන් දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට හැකිවීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය ආර්ථික වර්ධනයට ධනාත්මකව බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

