brand logo
logo
 නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ ගල්කිස්සේ නිවස විශේෂ පරීක්ෂාවකට

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ ගල්කිස්සේ නිවස විශේෂ පරීක්ෂාවකට

17 October 2026


අල්ලස් කොමිසමේ නිලධාරින් අද (17) අලුයම් කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ ගල්කිස්සේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක් කර එහි තිබූ සේප්පුවක් සිය භාරයට ගෙන තිබේ.


ලද තොරතුරකට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ එහි විමර්ශන නිලධාරින් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් මාවතේ පිහිටි නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.


අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු අද දෙරණට පැවසුවේ අදාළ නිවසේ හිමිකරු සංජය සමරසිංහ නැමැත්තෙකු බවය.


ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.


ඔහු සම්බන්ධයෙන් එම කොමිසම සතුව ඇති ලිපි ගොනුවකට අදාළව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි අල්ලස් කොමිසම පැවසුවේය.


මෙහිදී කොමිසමේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්යය බලකායේ මෙන්ම ගල්කිස්ස පොලිසියේද සහාය ඇතිව නිවසට ඇතුළු වී තිබේ.


එහිදී පැය 4කට ආසන්න කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙයි.


කෙසේවෙතත් නිවසේ හිමිකරු වූ සංජය සමරසිංහ නැමැත්තා පවසා ඇත්තේ එම සේප්පුව විවෘත කිරීමේ මුර අංකය තමා සතුව නොමැති බවය.


එම පුද්ගලයා අද උදෑසන අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදී යළි පිටව ගොස් තිබේ. 

 

More News..