brand logo
logo
ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් ජනමතය බැලිය යුතුයි -අධිනීතිඥ ලාල් විජේනායක

ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් ජනමතය බැලිය යුතුයි -අධිනීතිඥ ලාල් විජේනායක

01 September 2026 | කමල් සුරවීර - මහනුවර


අත්තනෝමතික ලෙස විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික, මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක, අධිනීතිඥ ලාල් විජේනායක පවසයි.


මහනුවර සංවාද කේන්ද්‍රය මගින් සංවිධානය කළ "22 අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපෑම" සංවාද මණ්ඩපය අමතමින් පෙරේදා (30 වැනිදා) ඔහු මේ බව පැවැසීය.


ඔහු මෙහිදී මෙසේද කීය.


වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මමත් ක්‍රියාකාරීව දායක වුණා. මෙතැනදී අපි ආණ්ඩුවට විරුද්ධව ප්‍රශ්නයක් ගැන නෙවෙයි කතා කරන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පමණයි කතා කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට කිසිවකුට හෝ අයිතියක් නෑ. අධිකරණයේ ස්වාධීනත්වය වචනයට පමණක් සීමා විය යුතු නෑ. එය පෙනෙන්න තිබිය යුතුයි. එසේ නැත්නම් ජනතාව අධිකරණය කෙරේ ඇති විශ්වාසය බිඳ වැටෙනවා. මේ ස්වාධීනත්වය අහෝසි කිරීමට දරන වෑයමටයි අපි විරුද්ධ. ඊට එරෙහිව කළ යුතු හැම දෙයක්ම අපි කරනවා. නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විනිසුරුතුමන්ලාගේ කාලය දීර්ඝ කරනවා කියන එක තමයි කියන්නේ. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි හිතන්නෙ මේ ගැන ජන මතයකට යෑම වඩාත් සුදුසුයි.


මහනුවර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුනිල් වීරකෝන් මෙහිදී අදහස් දැක්වීය.නීතිඥ ආචාර්ය රාජා ගුණරත්න, නීතිඥ චරිත් ගල්හේන, නීතිඥ බුද්ධික සමරසිංහ, නීතිඥ සනත් බණ්ඩාර ඒකනායක, නීතිඥ මනීශ සෙනෙවිරත්න, නීතිඥ උදයන කිරිඳිගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවරත්න බණ්ඩා, හිටපු පළාත් සභා මන්ත්‍රි රාජා උස් වැටකෙයියාව, හිටපු නාගරික මන්ත්‍රි රංජිත් විජේසිංහ, චන්ද්‍රසිරි සෙනෙවිරත්න ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..