brand logo
logo
කැලඹිල්ලෙන් අනිද්දා සිට වැස්ස වැඩිවේ

කැලඹිල්ලෙන් අනිද්දා සිට වැස්ස වැඩිවේ

09 November 2026 | සාලිය කුමාර ගුණසේකර


ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිතව පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් අනිද්දා (11 වැනිදා) පමණ වනවිට ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මෙහි බලපෑම හේතුවෙන් මෙමස 13 වැනිදා පමණ වනවිටදී ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ පවතින බවත්,මෙමස 15 වැනිදා වනවිටදී නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ හේතුව මත බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුවත්වීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ.


බස්නාහිර ඇතුළු පළාත් පහක ඇතැම් ස්ථානවලට අද (09 වැනිදා) දිනයේදීද මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එමෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඊයේ (08 වැනිදා) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මිලිමීටර් 111කට ආසන්න වර්ෂාපතන තත්වයක් වාර්තා වූවේය.

 

More News..