brand logo
logo
සිතාවක විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිතාවක විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

03 July 2025 | කේ.එස්. උදයකුමාර

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.


එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.


එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරුවන් කියා සිටින්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි.


එසේ තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වැනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවෝ සඳහන් කරති.


එහිදී අදාළ තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රිවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත් පෙත්සමේ සඳහන් වේ.


මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගණපූර්ණය නොමැති වීම හේතුවෙන් අදාළ තෝරාපත් කර ගැනීම කල් දැමුණු බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ තනතුරුවලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 

More News..