Best News Website award
brand logo
logo
ආබාධ සහිත සිසුන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න අයවැයෙන් මුදල් වෙන් කෙරේ

ආබාධ සහිත සිසුන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න අයවැයෙන් මුදල් වෙන් කෙරේ

23 November 2026


අද (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනුකමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත්තේ, ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.


පාසල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බවත්, ඒ සඳහා අදාළ ප්‍රදේශවල අවශ්‍යතාවන්ට ගැළපෙන ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඇය පෙන්වා දී තිබේ 


ඕනෑම දරුවෙකුට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල් හැරයාම සහ පාසල් පැමිණීම අඩුවීම වැනි ගැටලු මතුව ඇති බවද මෙහිදී අවධානයට ලක්වුණා. ඒ අනුව අදාළ ගැටලු පවතින ප්‍රදේශවල පාසල් තුළ දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීමටත්, ඉදිරියේදී ත්‍රෛභාෂික පාසලක් ආරම්භ කිරීමටත් තීරණය කර තිබේ 


මේ අතර, ඇතැම් ප්‍රදේශවල පාසල් පෝෂණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ පාසල් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම උප්පැන්න සහතික නොමැතිව පාසල්වලට ඇතුළත් කරගන්නා සිසුන්ගේ ලේඛන සකස් කිරීමේදී මතුවන ගැටලු විසඳීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු අදාළ ආයතන සමග එක්ව ජංගම සේවා සහ සම්බන්ධීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දී තිබේ


බස්නාහිර පළාතේ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් ලබන වසරේ සිට එම මාරුවීම් ක්‍රමවත්ව සිදුකිරීමට හැකිවනු ඇති බවද අනාවරණය වී තිබෙනවා. දුෂ්කර සහ පහසුකම් අඩු පාසල් පවත්වාගෙන යාමේදී විදුහල්පතිවරුන්ගේ කැපවීම වැදගත් බවත්, එම පාසල්වල පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණේය .


ලබන වසරේ ගුරු පුහුණු වැඩසටහන්වලදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සැබෑ අර්ථය සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා. එමෙන්ම පෙර පාසල් ගුරුවරුන්ට ලබාදෙන පුහුණුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පුහුණු කට්ටල ලබාදීම පිළිබඳවද අවධානය යොමුකර තිබේ.


පාසල්වල සම්පත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන පාසල් මට්ටමින් හෝ ප්‍රාදේශීයව මුරකරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව සඳහන් කළේය 

 

More News..