ලිට්රෝ හිස් සිලින්ඩර් ලක්ෂ 2ක් එන සතියේ වෙළෙඳපොළට
02 November 2026 | ශිරාන් රණසිංහ
ලිට්රෝ හිස් සිලින්ඩර් ලක්ෂ 2ක් එන සතියේ වෙළෙඳපොළට
02 November 2026 | ශිරාන් රණසිංහ
අලුත් හිස් ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ දෙකක් සමාගම මගින් මෙරටට ගෙනැවිත් තිබුණත් මේ දක්වා ඒවා වෙළෙඳපොළට නිකුත් කර නැත. මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමෙහි සභාපති චන්න ගුණවර්ධනගෙන් ‘අරුණ’ කළ විමසීමේදී ඔහු කියා සිටියේ දැනට පවතින ගෑස් හිඟය අවසන් වූ වහාම ලබන සතියේදී ඒවා වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
මේ අතර කොළඹ වරායට ඊයේ (1 වැනිදා) පැමිණි මෙට්‍රික් ටොන් 3900ක් රැගත් කොරන්ටයින් (Quarantine) නෞකාවේ ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇතැයිද ඒවා අද (2 වැනිදා) වනවිට රටපුරා බෙදාහැරීමෙන් පසු යම් යම් ප්‍රදේශවල මතුව ඇති ගෑස් හිඟය අවසන් වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවැසීය.
පෙරේදා (3 වැනිදා) මෙරටට ළඟාවූ මෙට්‍රික් ටොන් 39,000ක ගුඩ්විල් (Goodwill) නෞකාවේ ගෑස් ඊයේ (1 වැනිදා) දිනයේදී බෙදාහැරීම ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.
මෙරට ගෑස් වෙළෙඳපොළෙන් ලාෆ් ගෑස් සැපැයුම අඩාළවීම හේතුවෙන් සියයට විස්සක් වන එම අවශ්‍යතාවද ලිට්රෝ ගෑස් මගින් ආවරණය කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.
මෙම මාසයට අවශ්‍ය වන ගෑස් මෙට්‍රික් ටොන් 44,000 ක ප්‍රමාණය දැනටමත් ඇණවුම් කර ඇතැයිද අදාළ කාලසටහනට අනුව ඒවා මෙරටට ගෙන ඒමට ජියෝ ගෑස් (Geo Gas) සමාගම කටයුතු යොදා ඇතැයිද ඔහු පැවැසීය.
මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් ලිට්රෝ ගෑස් සමාගම මසකට ගෑස් මෙට්‍රික් ටොන් 38000 ක්ද, අනෙක් සමාගම මෙට්‍රික් ටොන් 6000 ක්ද සැපයීම සිදුකළ බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම මාසයට අදාළව ලිට්රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 44000 ක්ම ඇණවුම් කළ බවද පැවැසීය. ඒ අනුව මෙම මාසයේදී ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂ 30 ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂ 18 ක් මසකට නැවත පිරවිය යුතු බවත් ඊට අමතරව කිලෝග්‍රෑම් 2.3 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩර් ලක්ෂ 15 ක් පමණ නැවත පිරවිය යුතු බවද කියා සිටියේය.
විනිමය අනුපාතවල සහ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති මුත් මෙම මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමූ බවද ඔහු කියා සිටියේය.
කිලෝ 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4365.00 ක් ලෙසත් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 1750 ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය 815 ක මිලේ තවදුරටත් පවතින බවද ලිට්රෝ ගෑස් සමාගමෙහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේය.
පවතින නීතියට අනුව කහ ගෑස් සිලින්ඩර නිල් කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.
කර්මාන්ත සඳහා අවශ්‍ය ගෑස් ලබාදීමේ ගැටලුවක් පැවැති බවත් මේ වන විට ලිට්රෝ සමාගම මගින් එම කටයුතු බාරගෙන කරගෙන යන බව එම සමාගම කියයි.
ඒ අනුව මෙතෙක් කලක් ලාෆ් සමාගමෙන් ගෑස් මිලදී ගත් කර්මාන්ත ශාලාවලට හා හෝටල් ආදියට බවුසර් මගින් ගෑස් ලබාදීමට පියවර ගත් බවද සමාගම පවසයි.
මේ හේතුව මත දෛනිකව නිකුත් කරනු ලබන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1100 සිට 1600 දක්වා ඉහළ නැංවීමට සිදුව ඇතැයි ද ලිට්රෝ සමාගම පවසයි.

