සිවුරු ගැලවීම හා යළි ඇන්දවීම
17 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
සිවුරු ගැලවීම හා යළි ඇන්දවීම
17 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
(අපේ මුනුබුරාගේ පන්ති භාර ගුරුවරිය "අපේ ගෙදර" මැයින් රචනාවක් ලියන්නැයි ළමයින්ට නියම කර තිබේ. මේ අපේ එකා ලියා තිබූ රචනයයි)
මේ දවස්වල අපේ ගෙදර විශාල බෞද්ධ ප්රබෝධයක් ඇතිවී තිබේ. දැන් රාජපක්ෂ පවුල, වැස්ස, ක්රිකට්, ඩොනල්ඩ් ට්රම්ප්, අල්ලපු ගෙදර, ලෙඩදුක්, ටෙලිනාට්ය පමණක් නොව ජීවන වියදමද එක්ස්පයර්ඩ් (සොරි, කල් ඉකුත්වූ) මාතෘකාය. අම්මාත්, තාත්තාත්, ආච්චිත්, සීයාත් උදේ පටන් රෑ වෙනතුරු කතා කරන්නේ චීවරය ගැලවීම හා යළි ඇන්දවීම ගැනය.
පවුලේ ඇතැමුන් (නම් වශයෙන් කියනවා නම් තාත්තා සහ සීයා) සිවුරු ගැලවීමට පක්ෂයි. යළි අන්දනවාට විරුද්ධයි. ඔවුන් කියන්නේ ලොකු සහෝදරයා (සිංහලෙන් කියන්නේ නම් Big brother) හැත්තෑහය අවුරුදු සාපයේ ජනාධිපතිවරුන් මෙන් පෙන්දෙක් නොවේ කියාය. ඔහු ගණිත උපාධිධරයෙකි. ඒ නිසා අවසානයේදී ගණන් බලා අවශ්ය තැනට වැඩේ දෙනු ඇතැයි කියා ඔවුන්ට විශ්වාසය. තාම ගේම ඉල්ලුවා පමණයිය.
ඒ අතර අපේ කාන්තා පක්ෂය සිවුරු ගැලවීමට සපුරා විරුද්ධය. ඔවුන් කියන්නේ ආණ්ඩුව සිවුර සමග හැපෙන්නට ගොස් කෙළවා ගනිමින් සිටින්නේය කියාය. සිවුරු ගලවන්නට යෑමෙන් වෙන්නේ වැඩි දවසක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ රෙදි ගැලවීම බව ඔවුහු සහතික කර කියති.
අපේ සීයා කියන්නේ කවුරුන් හෝ මේ හොඳ ආණ්ඩුව පරද්දන්නට සිතන්නේ නම් ඔවුන් ඊටත් වඩා හොඳ විය යුතු බවය. ලොකු සහෝදරයා එසේ කියා තිබේය. ආච්චි ඒ අසා "බම්බුව" කියා කීවාය. ඈ කියා සිටියේ මේ නරක ආණ්ඩුව පැරැද්දීමට නම් ඊටත් වඩා නරක කට්ටියක් පැමිණිය යුතු බවය. ගරුතර මහා සංඝරත්නය හොඳට හොඳයි මෙන්ම නරකට නරක යැයි ඈ කීවාය.
අපේ අම්මා මේ දිනවල ඉන්නේ ඉතා ප්රීතියෙනි. ඒ ආණ්ඩුව හාමුදුරුවරුන්ට සරෙන්ඩර් වීගෙන සරෙන්ඩර් වීගෙන යන නිසාම නොවේ. ඈ සතුටින් සිටින්නේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නන්ට සිදුවී ඇති විපත ගැනය. ඈ කියන්නේ ආණ්ඩුව ඇඳි වතේ මල මූත්රා කරගත්තද වහාම එය සේදීමට යෑමේ විපාකය ඔවුන් දැන්වත් අවබෝධ කරගත යුතු බවය. ආණ්ඩුවේ බැතිමතුන් මහනුවර සිට කොළඹ දක්වා එෆ්බීවලින් හාමුදුරුවරුන්ගේ සිවුරු ගලව ගලවා ආණ්ඩුවට සපෝට් කළද දැන් ආණ්ඩුව වැඩ කරන්නේ ඒ අහිංසක, අවංක ඩෝබින්ගේ රෙදි ගැලවෙන විදිහටය. මේ ආණ්ඩුව ඉතා අකෘතඥය.
තාත්තා නම් හිටගන්නේ ආණ්ඩුව සමගය. එහෙත් දැන් ආණ්ඩුව හාමුදුරුවරුන්ගේ සද්දෙට බයවී ජනාධිපති සමාව දෙන තැනට වැටීමෙන් මෙතෙක් තිබූ "රෙස්පෙක්ට්ටෙක" බල්ලාට යන බව ඔහු ඉතා දුකින් කියයි. එහෙනම් "සිරිසේන කරපු වැඩ මං කරන්නෙ මොකටද කියා හයියට ඉන්න බැරිදැයි" මම ඇසුවෙමි. තාත්තා ඊට පිළිතුරක් නොදී මුණු මුණු ගෑවේය. මට ඇහුණේ ඉන් ....... .පාතාලය, ......කඩ, .......රඳවන වැනි කෑලි කෑලි පමණය.
"අපේ ආණ්ඩුවට තියෙන ලොකුම හයිය අපිට විරුද්ධව වැඩ කරන්න ජේවීපියක් නැතිකම" යැයි සීයා නිතර ආඩම්බරයෙන් කියයි. ඊයේ පෙරේදා ස්වාමීන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලයට පෙළපාළියෙන් ගිය සැටි අපි සියලුදෙනා ටෙලිවිෂනයෙන් බලා සිටියෙමු. එවිට ජනාධිපති ලේකම්, උන්වහන්සේලා හමුවීමට කාර්යාලයෙන් පිටතට ආවේය. "කවදාවත් ජනාධිපති ලේකම් කෙනෙක් මෙහෙම අපේ සහෝදරවරුන් හම්බවීමට එළියට ආවේ නැතැයි" සීයා එවිට සංවේගයෙන් කියා සිටියේය. "අන්තිමේදී මේ ආණ්ඩුවටත් ජේවීපියක් හම්බවෙලා නේදැයි" මම සීයාගෙන් ඇසුවෙමි.

