brand logo
logo
බොක්සිංවලින් නදීකා අවසන් 8ට යද්දී රවිඳුගේ ප්‍රතිඵලය මතභේදාත්මක වෙයි

බොක්සිංවලින් නදීකා අවසන් 8ට යද්දී රවිඳුගේ ප්‍රතිඵලය මතභේදාත්මක වෙයි

29 July 2026

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 51 බර පන්තියේ නදීකා පුශ්පකුමාරි එම තරගය ලකුණු 3-2ක් ලෙස ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පෙරේදා (27 වැනිදා) සමත් වූවාය. එසේම බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් තරග වැදුණු රවිඳු ජයනාත් ප්‍රබල තරගයකින් පරාජයට පත් වූ අතර එම තීරණය යම් මතභේදාත්මක බවක් ගෙන එනු ලැබිණි.


නදීකා ස්කොට්ලන්ත ක්‍රීඩිකා බෲක් නීලි සමග තරග වැදුණි අතර කරට කර තරගයක් වූ එහිදී විනිසුරු මනාප තුනක් තමන් සතුකර ගනිමින් ජයගැනීමට නදීකා එම ජයග්‍රහණය සමගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවාය. රවිඳු තරග වැදුණු තරගය සුවිශේෂී එකක් වූ අතර එහිදී විනිසුරු මනාප 4ක්ම ලකුණු 28 - 28 බැගින් තරගකරුවන් දෙදෙනාටම හිමි වූ අතර, එක් විනිසුරු මනාපයක් ලකුණු 29 - 28ක් ලෙස රවිඳු වෙත හිමි වුව ද සමස්ත තරගයේ ජය 4 - 1ක් ලෙස ප්‍රතිවාදී ක්‍රීඩක ගිනී දූපත්හි නියාල් ඇඩම්ස් සතුවීම මතභේදාත්මක තීරණයක් විය. කෙසේ නමුත් මේ පිළිබඳ 'අරුණ' කළ විමසීමකදී ඒ වන විටත් මේ පිළිබඳව තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් පියවරක් ගෙන තොතිබිණි.


නදීකා තරග වදින අර්ධ අවසන් පූර්ව වටයේ තරගය නැමීබියා ක්‍රීඩිකා මිස්චා මොනීක් සමගින් මෙරට වේලාවෙන් රාත්‍රි 10.45ට පැවැත්වේ. එසේම කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තරග වදින කේෂානි හංසිකා අද ෆීජි ක්‍රීඩිකා ජස්මින් ඩෞනාකමකමා සමගින් මෙරට වේලාවෙන් පස්වරු 5ට තරග වදියි.


පිරිමි මීටර 50 සමනළ ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ එම්.එෆ්. මුහම්මඩ් තත්පර 25.25ක කාලයක් වාර්තා කරමින් එහි ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර එය ඔහුගේ පුද්ගලික හොඳම කාලය බවට පත්විණි. ඔහුට සමස්ත කාල ගණනයන් මත 37 වැනි ස්ථානය හිමිවිණි.


⁣මීට අමතරව පිරිමි මීටර 400 දිවීම ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට සහභාගී වූ කාලිංග කුමාරගේ තත්පර 46.28ක තරග නිමි කාලයක් වාර්තා කරමින් එහි දෙවැනි ස්ථානයට හිමිකම් කීවේය. සමස්ත කාල ගණනය සමග ඔහුට 11 වැනි ස්ථානය හිමි වූ අතර අවසන් පූර්ව වටය සඳහා ද ඔහු සුදුසුකම් ලැබීය. එසේම මීටර 400 පිරිමි ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ හර්ෂ කරුණාරත්න එහි 5 වැනි ස්ථානය හිමිකරගත් අතර ඔහු වාර්තා කළ කාලය මිනිත්තුවයි තත්පර 49.98කි. ඔහුට සමස්ත 21 වැනි ස්ථානය හිමිවිණි. ඔහු සහභාගි වන අවසන් පූර්ව වටයේ තරගය හෙට (30 වැනිදා) මෙරට වේලාවෙන් 5.40ට පැවැත්වීමට නියමිතය.


මේ අතර පෙරේදා පැවැති උස පැනීම පිරිමි ඉසව්ව සඳහා තරග වැදුණු දසුන් සමරවීර සිය ප්‍රථම පැනීමේදීම ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

 

More News..