brand logo
logo
 අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි

21 September 2026


බටහිර-මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, අද (21) සවස 5:30 වන විට බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව 'පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඉදිරි පැය 24 තුළ එය 'ගැඹුරු පීඩන අවපාතයක්' දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබේ.


මෙම නිවේදනය විශේෂයෙන්ම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා දැඩි අවධානය පිණිස නිකුත් කර ඇත.


මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 - 65 දක්වා වැඩි වන අතර, මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.


ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත් වනු ඇත.


උතුරු අක්ෂාංශ 5 ත් 22 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස දන්වා ඇත.


දැනටමත් මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටියි.

 

More News..