roadBlockMobile
brand logo
logo
විරුවගෙන් පළිගනී

විරුවගෙන් පළිගනී

02 November 2023

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න රිය අනතුරක් කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම පොලිසිය තුළ දැඩි කතාබහක් ඇති කිරීමට හේතු වී තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ රවි සෙනවිරත්න බන්ධනාගාරගත කිරීම පසුපස ප්‍රබල දේශපාලනඥයකුගේ පළිගැනීමක් ක්‍රියාත්මකව ඇති බවයි.


පසුගිය දිනක රාත්‍රි කාලයේදී සිය වාහනය පදවාගෙන ගිය හිටපු නි. පොලිස්පතිවරයාට නින්ද යෑම හේතුවෙන් ඔහුගේ වාහනය වාහන කීපයක ගැටී අනතුරක් සිදු වී තිබේ. නමුත් පසුව සියලු පාර්ශ්වයන් මෙය ගොඩින් බේරා ගැනීමට එකඟතාවකට පත්ව තිබේ. කරුණු එසේ තිබියදීත් නි. පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇපදීමට විරෝධය පා බන්ධනාගාරගත කර තිබේ.


පොලිස් ආරංචි මාර්ග පවසන්නේ අනතුරින් මහා මාර්ගයට හෝ වෙනත් පොදු දේපළකට අලාභහානි සිදු වී නැති නම්, මාර්ග නීතියක් ද කඩවී නැති නම් හා සියලු පාර්ශ්වයන් සමථයකට පත් වී ඇති නම් එය පොලිසියට දැනුම් දීමට තරම් දෙයක් නොවන බවයි. එමෙන්ම මාරක රිය අනතුරකදී වුවද රියැදුරුට ඇප ලබාදීම සම්ප්‍රදාය බවද කියයි. නි. පොලිස්පතිවරයාට මෙලෙස සැලකුවද ඊට පසුදින මාවනැල්ලේ දී අනතුරක් කළ බ්‍රිගේඩියර්වරයකුට ඇප ලබා දී තිබේ. එකම රටක මෙලෙස නීති දෙකක් ක්‍රියාත්මක කරන්නේ කෙලෙසදැයි පොලිසියම ප්‍රශ්න කරයි.


හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යනු අපරාධකාරයකු නොවන අතර රටේ අපරාධ විසඳපු කෙනෙකි. කොටි ක්‍රියාකාරකම් උත්සන්න අවධියේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වූ රණ විරුවෙකි. කොටි කොළඹ ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන සමයේ විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් කොළඹට ගෙනා මරාගෙන මැරෙන බෝම්බ කබා රාශියක් අල්ලලා එකී ප්‍රහාර වැළකූ විරුවෙකි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ‘‘ඔහුගෙන් පළිගත්තා. දේශපාලන බලපෑමකින් තමයි ඇප ප්‍රතික්ෂේප කරලා රිමාන්ඩ් කරලා තියෙන්නේ. රථවාහන චෝදනාවකට මිනිස්සු රිමාන්ඩ් කරන්නේ නෑ මෙහෙම.’’


-අරුණ පොලිටික්ස්-

 

More News..