ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි
19 November 2026 | ශිරාන් රණසිංහ
ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි
19 November 2026 | ශිරාන් රණසිංහ
මෙරට ශ්වසන හා පෙණහලු පිළිකාවලට ප්‍රමුඛතම හේතුව ගෘහස්තව සිදුවන වායු දූෂණය බවට සමීක්ෂණවලින් තහවුුරු වී ඇතැයි වැලිසර ජාතික ශ්වසන ආයතනයේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පවසති. මේ දිනවල වාර්තා වන වායුගෝලයේ ගුණාත්මක අගය පහළ යෑම ඊට ප්‍රධාන හේතුව නොවන බවද ඔහු පෙන්වා දෙයි.
මේ දිනවල ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් මෙරටට එහි බලපෑමක් සිදුවනු ඇද්දැයි කළ විමසීමේදී වැලිසර ජාතික ශ්වසන ආයතනයේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ ‘අරුණ’ ට කියා සිටියේ මෙරට සෞඛ්‍ය පද්ධතියට වැඩිම බලපෑමක් සිදුවන්නේ ගෘහස්ත වායු දූෂණය හේතුවෙන් බවත් පාරිසරික වායු දූෂණය දෙවැනි හේතුව බවත්ය.
ඉන්දියාවේ වායු ගෝලයේ දූෂණය පිළිබඳ වරින් වර වාර්තා වන මුත් මෙරටින් හමුවන පෙණහලු පිළිකා රෝගීන් හා ශ්වසන රෝගීන් සැලකිල්ලට ගැනීමේදී මොවුන්ගෙන් බහුතරය රෝගීවී ඇත්තේ ගෘහස්ත වායු දූෂණය හේතුවෙන් බවට තහවුරු වී ඇතැයිද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
ඉකුත් 2010 ත් 2020 ත් අතර කාලයේදී මෙරට පෙණහලු පිළිකා රෝගීන්ගේ වැඩිවීම සියයට පනහකින් වර්ධනය වී ඇති බවත්, වැලිසර ජාතික ශ්වසන ආයතනයේදී පමණක් පෙණහළලු පිළිකා සහ පෙණහලු ආශ්රිත සැත්කම් ඇතුළු ප්‍රතිකාර 3500 ක් පමණ වසරකට සිදුකරන බවත් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙරට පිරිමි පිළිකා රෝගීන්ගේ ප්රමුඛ පිළිකාව බවට පෙණහලු පිළිකාව පත්ව ඇත. කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතර ප්රමුඛ පිළිකා දහය අතරට පෙණහලු පිළිකාව පත්ව තිබේ.
මෙම තත්ත්වයන් නිරීක්ෂණයේදී ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ දූෂණයට වඩා මෙම තත්ත්වයට ප්‍රධානම වශයෙන් හේතුවී ඇත්තේ ගෘහස්තව සිදුවන වායු දූෂණය යැයිද උරස් ශල්‍ය විශේෂඥවරයා පෙන්වාව දුන්නේය.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කියා ඇත්තේ වායු ගුණාත්මක දර්ශකයට අනුව යාපනය (186), කිලිනොච්චිය (170), හලාවත (162), අනුරාධපුර (165), බත්තරමුල්ල (166), ත්‍රිකුණාමලය (156), අක්කරෙයිපත්තුව (154) ආදී වශයෙන් මෙරට දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ඊයේ (18) වනවිට පත්ව තිබූ බවයි.


