Best News Website award
brand logo
logo
IORA කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය – ඇමැති විජිත හේරත්

IORA කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය – ඇමැති විජිත හේරත්

27 November 2026


ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) කටයුතු සඳහා ශ්‍රී ලංකාව දිගින් දිගටම සහාය ලබා දෙන බවත්, කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් එහි වැඩසටහන්වල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.


ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (27) පැවැති ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.


2023 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව එම සංගමයේ සභාපතිත්වය දැරූ අවධිය සිහිපත් කළ අමාත්‍යවරයා, එම කාලසීමාවේදී ලබාගත් ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳව ද සභාව දැනුවත් කළේය.


යුරෝපා සංගමය IORA හි 12 වැනි සංවාද හවුල්කරු (Dialogue Partner) ලෙස පිළිගැනීම, BIMSTEC වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා වර්ධනය කර ගැනීම, හයවැනි IORA නිල් කාබන් කේන්ද්‍රයේ (Blue Carbon Hub) චින්තන මණ්ඩපය පැවැත්වීම සහ 2025 මැයි මාසයේදී සියලු සාමාජික රටවල එකඟතාවයෙන් කොළඹ ප්‍රකාශනය (Colombo Communiqué) සම්මත කර ගැනීම එම ප්‍රධාන ජයග්‍රහණ අතර වේ.


ශ්‍රී ලංකාවේ සභාපතිත්ව කාලසීමාවෙන් උගත හැකි ප්‍රධාන පාඩම් තුනක් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා; හවුල්කාරිත්වයේ වැදගත්කම, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාව සහ ඉන්දීය සාගර කලාපය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නිරන්තර සාමූහික ප්‍රයත්නයන්හි අවශ්‍යතාව අවධාරණය කළේය.


දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි අභියෝග ජය ගැනීම සඳහා එක් එක් රටක සභාපතිත්ව කාලසීමාවෙන් ඔබ්බට ගිය අඛණ්ඩ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ඒ වෙනුවෙන් IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ (IORA Troika) වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.


එමෙන්ම, ඉදිරියේදී සම්මත කිරීමට නියමිත දිල්ලි ප්‍රකාශනය (Delhi Communiqué) මඟින් කොළඹ ප්‍රකාශනයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, දැනටමත් එකඟ වී ඇති ප්‍රතිඥාවන් ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ අමාත්‍ය විජිත හේරත් මහතා, “ඔබට අපගේ සහාය පිළිබඳව විශ්වාසය තැබිය හැකිය” යනුවෙන් ද පැවසීය.

 

More News..