brand logo
logo
මැදපෙරදිග නාවික බාධා හමුවේ හම්බන්තොට වරාය විකල්ප මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගනී

මැදපෙරදිග නාවික බාධා හමුවේ හම්බන්තොට වරාය විකල්ප මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගනී

08 November 2026


මැදපෙරදිග කලාපයේ නාවික ප්‍රවාහනයට එල්ල වූ බාධා හමුවේ ගල්ෆ් කලාපීය රටවලට මෝටර් රථ ප්‍රවාහනය කිරීමේ විකල්ප ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය යොදාගෙන ඇති බව වාර්තා වේ.


හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරනුයේ මේ අනුව, එම වරාය හරහා සිදුකරන මෝටර් රථ ප්‍රවාහන කටයුතු සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ඩුබායිහි පිහිටි Al-Futtaim Logistics සමාගම අතර සාකච්ඡා පැවැත්වූ බවය.


Al-Futtaim සමූහයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ සිදුකළ සංචාරයක් අතරතුර මෙම සාකච්ඡා පවත්වා ඇති අතර, වරායේ මෙහෙයුම් කටයුතු සහ කර්මාන්ත උද්‍යානය ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇත.


මේ අතර, Al-Futtaim සමාගම විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවකට අනුව, 2026 මාර්තු මාසයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ප්‍රවාහනයට එල්ල වූ බාධා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහනය සඳහා විකල්ප වරාය මධ්‍යස්ථාන තුනක් යොදාගෙන තිබේ.


ඒ අතරට ශ්‍රී ලංකාවේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ඇතුළත් වන අතර, අනෙක් වරායන් දෙක වන්නේ ඕමානයේ මස්කට්හි Port Sultan Qaboos සහ ඕමාන් බොක්ක ආශ්‍රිත Port Khor Fakkan වරාය වේ.


මෙම විකල්ප ප්‍රවාහන මාර්ග තුන ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ සෞදි අරාබිය යන රටවලට මෝටර් රථ 25,000කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති බව Al-Futtaim සමාගම පෙන්වා දී තිබේ.


මේ අතර, පසුගිය ජුනි 09 වැනිදා ආරම්භ කළ CASCADIA RoRo Feeder Service මගින් හම්බන්තොට වරාය සහ ගල්ෆ් කලාපීය වෙළෙඳපොළ අතර මෝටර් රථ ප්‍රවාහන සබඳතා ශක්තිමත් කිරීමට දායක වී ඇති බව ද සඳහන් වේ.


කැනඩාවේ මූලස්ථානය පිහිටි CASCADIA සමාගම මෙම සේවාව ක්‍රියාත්මක කරන අතර, ඒ ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ අතර මෝටර් රථ ප්‍රවාහනයට පහසුකම් සැලසේ.


Al-Futtaim සමාගම පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග නාවික ප්‍රවාහනයට එල්ල වූ බාධා හමුවේ මෙම විකල්ප සැපයුම් මාර්ග යොදා ගැනීමෙන් මෝටර් රථ අලෙවි නියෝජිතයින් වෙත වාහන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බවය.


ඒ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ එම සමාගම අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව අවධානය මේ වන විට යොමුව ඇති බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේය.

 

More News..